පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම පිළිබඳ දිවයිනම ආවරණය වන පරිදි සමීක්ෂණයක් සිදු කිරීම කෙරෙහි විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ අවධානය යොමු වී තිබේ.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වු අවස්ථාවේ දී මේ කරුණ සාකච්ඡාවට ලක්විය.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම වැළැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර ගුරුවරුන් සහ සිසුන් දැනුවත් කිරීම් ඇතුළු වැඩසටහන් 225ක් මේ වන විට පාසල් මට්ටමින් ක්‍රියාත්මක කර තිබෙන බවත්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල උපකුලපතිවරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් සමග සාකච්ඡා කර සිසුන් අතරින්ම කව ඇති කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවත් අනාවරණය කෙරිණි.
පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යසනය තුරන් කිරිමේ වැඩසටහන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර පොදු සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල හිමිකරුවන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ කරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් කැඳවීමට ද මෙහිදී තීරණය කෙරිණි.















