ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ස්ථාපිත කර ඇති කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන්සභාව ස්වාධීනව ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව එහි සභාපතිනි ග්‍රේස් ආශිර්වාදම් (Ms. Grace Asirwatham) මහත්මිය ඇතුළු කොමිසමේ සමාජිකයින් ඊයේ (ජුනි 23) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී හමුවූ අවස්ථාවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
එහිදි දසවෙනි පාර්ලිමේන්තුව විසින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ මෙම ස්වාධීන කොමිෂන් සභාවේ අභිනව සාමාජිකයින් වෙත කථානායකවරයා සිය උණුසුම් සුබ පැතුම් එක් කර සිටියේය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51%ක ප්‍රතිශතයක් නියෝජනය කරන කාන්තාවන් වෙනුවෙන් සුවිසල් භාරදූර කාර්‍යභාරයක් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට පැවරී ඇති බව මෙම අවස්ථාවේ දී කථානායකවරයා වැඩිදුරටත් පැහැදිළි කළේය.
ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි කළේ ශ්‍රී ලංකාව බවත් දකුණු ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව අප රටේ කාන්තාව සමාජයේ ඉදිරියට පැමිණ ඇති බවත් කථානායකවරයා වැඩිදුරටත් පවසා සිටියේය. එම නිසා තවදුරටත් ශ්‍රී ලංකාවේ කාන්තාව සවිබල ගැන්වීම වෙනුවෙන් නිවැරදි සහ ස්වාධීන තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව කටයුතු කළ යුතු බ වද කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙම අවස්ථාවේදී අවධාරණය කළේය.
දැනට කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ පවතින පරිපාලන සහ අනෙකුත් යටිතල පහසුකම් ගැටලු සහ ඉදිරි කටයුතු පිළිබඳව දෙපාර්ශවය අතර මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු එහි සමාජිකයින් වන කේ.ඩි.ආර්. ඔල්ගා, ශ්‍රීන් සාරූර් (Ms. Shreen saroor), ජනහා සෙල්වාරස් (Ms. Janaha selvaras), ජයන්ති උත්පලා, වෛද්‍ය පද්මා ගුණරත්න, ආචාර්ය කලන සේනාරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.













