
මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කළ බවට තහවුරු කිරීමට ඇඟිල්ලේ තීන්ත ආලේපනය කිරීම අහෝසි කිරීමේ තීරණය සෑම අතින්ම ඉතාම හොඳ තීරණයක් බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ඔහු පැවසුවේ මෙම තීරණය හේතුවෙන් රජයට රුපියල් මිලියන 100ක පමණ මහජන මුදල් ඉතිරිකිරීමේ හැකියාව ලැබෙන බවයි.
‘පැෆ්රල්’සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මෙම යෝජනාව හදිසියේ මතුවූ එකක් නොවෙයි, වසර ගණනාවක් තිස්සේ මැතිවරණ ක්ෂේත්රයේ, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවට ලක් වූ කරුණක් බව පැවසිය යුතුයි. මෙම ක්‍රමවේදය ඉවත් කිරීමෙන් තීන්ත ආනයනය කිරීම, බෙදා හැරීම සහ ඒ සඳහා අවශ්‍ය පරිපාලන ක්‍රියාවලිය සඳහා වැයවන මුදල සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවී මැතිවරණ වියදම් අඩු කිරීමෙන් මහජන මුදල්ද ඉතිරි කරගත හැකි වෙනවා.
ඡන්ද දායකයෙකු ඡන්දය භාවිතා කළ බව තහවුරු කිරීම සඳහා ඇඟිල්ලේ නොමැකෙන තීන්ත ආලේප කිරීම දශක ගණනාවක් සිට ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියේ කොටසක් බවට පත්ව තිබෙනවා. ඡන්ද ලේඛන සකස් කිරීමට නව තාක්ෂණය භාවිත කිරීමත් සමඟ හොර ඡන්ද භාවිතා කිරීමට වර්තමානය වන විට අවස්ථාව ද අවම වී තිබෙනවා” හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් පැවසුවේය.














