‘විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රටේ ව්‍යවසායකත්ව පරිසරය ශක්තිමත් කිරීම සඳහා ඉතා වැදගත් සම්පතක්’

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සතු නායකත්ව කුසලතා, විනයගරුකභාවය සහ වෘත්තීය අත්දැකීම් රටේ ව්‍යවසායකත්ව පරිසරය ශක්තිමත් කිරීම සඳහා ඉතා වැදගත් සම්පතක් බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසුවේය.

ඔවුන් ව්‍යවසායකත්ව ක්ෂේත්‍රය වෙත යොමු කිරීම මඟින් ඔවුන්ගේ ආර්ථික ස්ථාවරත්වය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට පමණක් නොව, ජාතික ආර්ථික පුනරුදයට ද සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය දා පැවැති “රණවිරු ව්‍යවසායක අභිමන්” (Pride of Warrior-Preneurs) වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහ කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ සම සභාපතිත්වයෙන් මෙම වැඩසටහන පැවැත් වුණේය.

විශ්‍රාම ලැබීමට නියමිත සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ජාතික ආර්ථික සංවර්ධනයට ව්‍යවසායකයින් ලෙස සක්‍රීයව එක්කර ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. එහි දී ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන “රණවිරු ව්‍යවසායකත්ව” නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කළ අතර, මීළඟ අදියර ලෙස එය කළුතර සහ මාතර දිස්ත්‍රික්ක දක්වා ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.

වැඩසටහනේ දිගුකාලීන තිරසාරභාවය සහ ධාරිතා වර්ධනය තහවුරු කිරීම සඳහා ව්‍යවසායකත්වය පිළිබඳ “පුහුණුකරුවන් පුහුණු කිරීමේ” (Train the Trainers) වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. එමෙන්ම, වැඩසටහන තවත් පළාත් රැසක් ආවරණය වන පරිදි පුළුල් කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් හුවමාරු විය.

අදාළ අමාත්‍යාංශ දෙක අතර විධිමත් අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම, අරමුදල් සැපයීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම සහ වැඩසටහනේ කටයුතු අධීක්ෂණය හා ප්‍රගති නිරීක්ෂණය සඳහා ඒකාබද්ධ සම්බන්ධීකරණ ඒකකයක් (Joint Coordinating Cell) පිහිටුවීම සම්බන්ධයෙන් ද එකඟතාවයකට පැමිණීමට මෙම සාකච්ඡාවේ දී හැකි විය.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සතු නායකත්ව කුසලතා, විනයගරුකභාවය සහ වෘත්තීය අත්දැකීම් රටේ ව්‍යවසායකත්ව පරිසරය ශක්තිමත් කිරීම සඳහා ඉතා වැදගත් සම්පතක් බව චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. ඔවුන් ව්‍යවසායකත්ව ක්ෂේත්‍රය වෙත යොමු කිරීම මඟින් ඔවුන්ගේ ආර්ථික ස්ථාවරත්වය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට පමණක් නොව, ජාතික ආර්ථික පුනරුදයට ද සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සතු සම්පත්, පුහුණු පහසුකම් සහ ආයතනික සහාය උපරිම ලෙස ලබාදීමට අමාත්‍යාංශය කැපවී සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම, විශ්‍රාම ලබන සහ විශ්‍රාමික හමුදා සාමාජිකයින්ගේ ව්‍යවසායකත්ව අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය හා ආයතනික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමට අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවදුවේය.

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website