VAT පිළිබඳව විපක්ෂයේ විවේචනවලට නියෝජ්‍ය ඇමැති චතුරංගගෙන් පිළිතුරක්

සිය facebook ගිනුමේ විශේෂ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (22) මේ බව ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ facebook ගිනුමේ සම්පූර්ණ සටහන පහත දැක්වේ.

VAT යනු අවසානයේ පාරිභෝගිකයා විසින් ගෙවන බද්දකි. එහෙත් විශාල අවිධිමත් (Informal) ආර්ථිකයක් පවතින රටක මෙම බද්ද සාර්ථකව ක්‍රියාත්මක කිරීම පහසු කාර්යයක් නොවේ. කෙසේ වෙතත්, තමන් ආර්ථික විශේෂඥයන් ලෙස හඳුන්වාගත් පිරිස් ශ්‍රී ලංකාවට VAT ක්‍රමය සුදුසු බව තීරණය කළ ද, දශක දෙකකට වැඩි කාලයක් තුළ එය නිසි ලෙස හා සම්පූර්ණ කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක කිරීමට ඔවුන් අසමත් විය.

අද වන විට VAT ලියාපදිංචි ව්‍යාපාර සංඛ්‍යාව 35,000ක් පමණ වේ. එමෙන්ම අද ආණ්ඩුව විවේචනය කරන බොහෝ දෙනා රටේ ආර්ථිකය භාරව සිටි සමයේ එම සංඛ්‍යාව 25,000ටත් අඩු මට්ටමක පැවති බවත් මතක තබා ගත යුතුය.

සාර්ථක VAT ක්‍රමයක් සඳහා අවශ්‍ය වන්නේ අඩු බදු අනුපාතයක්, හැකිතාක් පුළුල් බදු පදනමක් සහ සමස්ත වටිනාකම් දාමය (Value Chain) එකිනෙකට සම්බන්ධ වීමයි. නමුත් අප රට තුළ වසර ගණනාවක් තිස්සේ ප්‍රධාන සාකච්ඡාවට ලක්වූයේ VAT අනුපාතය සහ Threshold එක පමණි.

අද ආණ්ඩුව විවේචනය කරන එම ආර්ථික විශේෂඥයන් රට පාලනය කළ සමයේ VAT Threshold එක වාර්ෂිකව රුපියල් මිලියන 12ක් විය. එය දිනකට ආසන්න වශයෙන් රුපියල් 30,000ක පිරිවැටුමකට සමාන වේ. අද එම තත්ත්වය ගැන කිසිවක් නොකියා හඬ නඟන අයගේ ස්ථාවරය ජනතාව තේරුම් ගත යුතුය.

එම කාලයේ මෙවැනි සංවාද හා විවාද අද මෙන් ප්‍රබලව නොපැවතිණි. ජනතාවට ආණ්ඩු තීරණ පිළිබඳ විවෘතව සංවාද කිරීමට සහ ඒවා අභියෝග කිරීමට අද ඇති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය එදා නොතිබුණි.

එබැවින් ඉතිහාසය ද සැලකිල්ලට ගනිමින් මේ කරුණු විමසා බැලිය යුතුය.

වත්මන් රජයේ VAT පිළිබඳ ස්ථාවරය පැහැදිලිය. වර්තමාන 18% අනුපාතය ඉහළ මට්ටමක පවතින බව අපි පිළිගනිමු. බදු පදනම පුළුල් කර ගත හැකි නම් අනාගතයේදී බදු අනුපාත අඩු කිරීමේ හැකියාව පවතී. එසේම අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු බදු අනුපාත හඳුන්වා දීමේ අවස්ථා ද සලකා බැලිය හැකිය.

ඒ අතරම, ව්‍යාපාර විධිමත් (Formal) ආර්ථිකය තුළට ගෙන ඒම ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍ය බව රජය විශ්වාස කරයි. එමගින් ව්‍යාපාර අතර සාධාරණ තරඟකාරී පරිසරයක් නිර්මාණය වන අතර ව්‍යවසායකත්වය ද වඩාත් කාර්යක්ෂම වේ.

හෙට පාර්ලිමේන්තුව මෙම කරුණ සම්බන්ධයෙන් ඉදිරි මාර්ගය තීරණය කරනු ඇත. එතෙක්, VAT ඉතිහාසයත්, වසර ගණනාවක් පුරා රටේ ආර්ථිකය කළමනාකරණය කළ ඇතැම් දේශපාලනඥයන්ගේ නොහැකියාවත්, තර්කානුකූල නොවන ප්‍රතිපත්ති තීරණත් හොඳින් අධ්‍යයනය කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website