කාලගුණයේ අවිනිශ්චිතතාව හා එල් නිනෝ අවදානම හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග මොනවාද ?

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

ඉහත ඡායාරූපයේ දැක්වෙන ප්‍රධාන තොරතුරු – කාලසීමාව: 2026 ජූනි 08 සිට 2026 ජූනි 14 දක්වා සතියක කාලය තුල නිරීක්ෂණය වීම්. මෙයින් පෙන්වන්නේ සාමාන්‍යයෙන් පවතින උෂ්ණත්වයට වඩා ලෝකයේ විවිධ සාගර කලාපවල උෂ්ණත්වය වැඩි වී හෝ අඩු වී ඇති ආකාරයයි. උෂ්ණත්ව වෙනස්වීම් (පහළ ඇති පාට පරිමාණය අනුව):

රතු සහ තද රෝස පැහැති කලාප: සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් ඇති ප්‍රදේශයි. විශේෂයෙන්ම ශාන්තිකර සාගරයේ (Pacific Ocean) සමකය ආශ්‍රිතව සහ දකුණු ඇමරිකාවට බටහිරින් ඉතා තද රතු පැහැයෙන් විශාල උණුසුම් කලාපයක් (El Niño තත්වයක ලක්ෂණ) දැකගත හැක. නිල් පැහැති කලාප: සාමාන්‍ය උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් ඇති ප්‍රදේශයි. උදාහරණයක් ලෙස උතුරු අත්ලාන්තික් සාගරයේ සමහර කොටස්වල මෙම තත්ත්වය දැකිය හැක.

දත්ත: ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය (Australian Bureau of Meteorology) වෙතිනි.

එවැනි කාලගුණික ස්වරූපයන්ට ප්‍රතිවිරුද්ධව අග්නිදිග ආසියානු කලාපයේ රටවල් රැසකට මෙවර අකාලයේ අධික වර්ෂාපතනයක් ද පතිත විය. ඒ අනුව මැයි මාසය තුළ ඉන්දුනීසියාවේ සුමාත්‍රා සහ ජැම්බි ප්‍රදේශවල සිදු වූ දරුණු නායයෑම්වලින් සහ මැලේසියාව, තායිලන්තය, වියට්නාමය යන රටවල හදිසියේ හටගත් ගංවතුර තත්ත්වයන්ගෙන් සැලකිය යුතු ජන පිරිසක් පීඩාවට පත් වූ බව ආසියානු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ AHA Centre වාර්තා අපට පෙන්වා දෙයි. (මූලාශ්‍රය: https://ahacentre.org/weekly-disaster-update/)

එමෙන්ම නැගෙනහිර ආසියාතික චීනයේ, 2026 වසන්ත සමයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයන් අභිබවා ගොස් ඇති බවත්, ඇතැම් ප්‍රදේශවල එය 2°C සිට 4°C දක්වා ඉහළ ගොස් ඇති බවත් China Meteorological Administration හි National Climate Center දත්ත පදනම් කරගත් වාර්තා පෙන්වා දෙයි. මේ අතර දකුණු කොරියාවේ දකුණු දිග ප්‍රදේශවලට 2026 මැයි මස අග භාගයේදී අකාලයේ අධික වර්ෂාපතනයක් ඇද හැලුණි. පැය කිහිපයක් තුළ ලැබුණු මෙම අසාමාන්‍ය වර්ෂාව හේතුවෙන් නාගරික ගංවතුර සහ හදිසි නායයෑම් තත්ත්වයන් රැසක් වාර්තා විය.

ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වූ මෙම ආන්තික කාලගුණික සිදුවීම්වල වාර ගණන වැඩිවීම, අප වර්තමානයේ දී මුහුණ දෙන පාරිසරික අර්බුදයේ දරුණු ස්වභාවය මනාව කියා පාන්නකි. එවැනි අවිනිශ්චිත අභියෝගයන්ට සහ ඉදිරි කාලගුණ පෙරළිවලට කල්තියා සූදානම් විය යුතු බවට වන විද්‍යාත්මක කථිකාවතක් දැන් දැන් ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළද ගොඩනැඟෙමින් පවතී.

කාලගුණ සංසිද්ධි

සැබවින්ම කාලගුණය, නිරතුරුව වෙනස් වන්නකි. එමෙන්ම දේශගුණය දශක කිහිපයකින් වෙනස්වීමට බඳුන් වියහැකි සංසිද්ධියකි. පෘථිවියේ ගෝලාකාර හැඩය, පරිභ්‍රමණය සහ කක්ෂයේ ඇලවීම හේතුවෙන් සූර්ය තාපය අසමාන ලෙස පෘථිවිය පුරා බෙදී යාම ඊට එක් හේතුවකි. මේ නිසා කාලගුණය පුරෝකථනය කිරීම ප්‍රාදේශීය සීමාවන්ගෙන් ඔබ්බට ගිය අන්තර් සම්බන්ධිත ක්‍රියාවලියක් බව පැවසිය හැකිවේ. අප අවට පරිසරයේ සිදුවන මෙම විපර්යාසයන් වටහා ගැනීමට ඇති හොඳම උදාහරණ වන්නේ එල් නිනෝ El Nino සහ ලා නිනා La Nina තත්ත්වයන්ය. පැසිෆික් සාගරයේ සහ ඒ ආශ්‍රිත වායුගෝලීය වෙනස්කම් මත මෙම ස්වභාවික දේශගුණික රටාවන් හටගනී. ඒ අනුව පැසිෆික් කලාපයේ නැගෙනහිර දෙසින් හමන වෙළඳ සුළං දුර්වල වන විට සාගර මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් එල් නිනෝ තත්ත්වය ඇති කරවයි. මේ අතර, මීට ප්‍රතිවිරුද්ධව නැගෙනහිරින් බටහිරට හමන සුළං ප්‍රබල වී සාගර මතුපිට ජලය සිසිල් වීමෙන් ලා නිනා තත්ත්වය නිර්මාණය වේ. උද්ගතවන එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ආසියානු කලාපයේ ඉංදියාව, ශ්‍රී ලංකාව, බංගලිදේශය පසුකර ඔස්ට්‍රේලියානු මාහාද්වීපය දක්වා සාමාන්‍ය වර්ෂාපතනය අඩුවී දිගුකාලීන වියළි කාලගුණයක් ඇතිවීමේ අවදානමක් ගොඩ නැගෙයි. අනෙක් අතට උතුරු හා දකුණු ඇමෙරිකානු මහාද්වීපික රටවලට අධික වර්ෂාපතනය සමග ගංවතුර හා නාය යෑම් වැනි ව්‍යසනයන්ට මුහුණ දීමට සිදුවේ.

සාමාන්‍යයෙන් මෙම සංසිද්ධිය වසර දෙකත් – හතත් අතර කාලයකට වරක් ඇති විය හැකි ප්‍රවනතාවයකි. එවැන්නක් වසරේ මාර්තු-ජූනි කාලයේ වර්ධනය වෙමින් නොවැම්බර්-පෙබරවාරි අතරතුර එහි උපරිම තීව්‍රතාවයට ළඟා වේ. මෙහි බලපෑම, තීව්‍රතාවය සහ කාලසීමාව ‘ඉන්දියානු සාගර ද්විධ්‍රැවීය’ Indian Ocean Dipole විපර්යාසය සමඟ එකවර ඇතිවීම හේතු කොටගෙන වෙනස් වන බව කාලගුණ විද්‍යාඥයින් හඳුනාගෙන තිබේ. පැසිෆික් සාගර කලාපය උදාසීන මට්ටමක පවතින විට පවා ගෝලීය වශයෙන් ආන්තික කාලගුණ තත්ත්වයන් ඉස්මතුවීමේ අවදානමක් පවතින්නේ එබැවිනි. (මූලාශ්‍රය: https://wmo.int/topics/el-nino-la-nina-phenomena)

මේ අතර ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් පුනරාවර්තන දේශගුණික සංසිද්ධියක් වන එල් නිනෝ-දක්ෂිණ දෝලනය ENSO නිරීක්ෂණය කර සමක පැසිෆික් කලාපයේ උණුසුම (එල් නිනෝ) සහ සිසිලන (ලා නිනා) අවධීන් පිළිබඳ කරන ලද අධ්‍යනය පදනම්ව 2026 ජූනි-අගෝස්තු කාලය තුළ එල් නිනෝ තත්ත්වය වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව පෙන්වා දෙයි. කෙසේ වුවද, මෙම ගෝලීය දේශගුණික මාදිලි මඟින් එහි තීව්‍රතාවය Intensity තවමත් පුරෝකථනය කරනු ලබන්නේ ‘මධ්‍යම මට්ටමක’ Moderate El Nino පැවතිය හැකි බවටයි. කාලගුණයේ පවතින අවිනිශ්චිත ස්වභාවය අනුව, මෙම තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ ‘ප්‍රබල’ Strong මට්ටමක් දක්වා වර්ධනය වේද, නැතහොත් නොවැම්බර් දක්වා මධ්‍යම මට්ටමක අඛණ්ඩව පවතීද යන්න සියයට සීයක් නිශ්චිත නොවන බැවින්, ඒ පිළිබඳව නිරන්තර පරීක්ෂාවෙන් පසුවීම අදාල අංශ කටයුතු කරනු ඇත. (මූලාශ්‍රය: WMO El Nino Update 2026 – https://wmo.int/news/media-centre/wmo-prepare-el-nino)

මෙම ගෝලීය සංසිද්ධියේ සැබෑ බලපෑමට අදාලව දේශගුණික පුරෝකථනයන් වඩාත් සංකීර්ණ සහ අවිනිශ්චිත කරවන ප්‍රධාන සාධකය වන්නේ පැසිෆික් සාගරයේ එල් නිනෝ තත්ත්වය සහ අපට ආසන්න ‘ඉන්දියානු සාගර ද්විධ්‍රැවීය’ විපර්යාසය අතර සිදුවන අන්තර් ක්‍රියාවලි යයි. ප්‍රායෝගිකව මෙම සාගර කලාප දෙකේම උෂ්ණත්ව විචලනයන් එකිනෙකට බලපෑම් එල්ල කරයි. උදාහරණයක් ලෙස, එල් නිනෝ තත්ත්වයක් මඟින් දකුණු ආසියාවට වියළි කාලගුණයක් පෙන්වන පසුබිමක, ඉන්දියන් සාගරයේ හැසිරීම ධනාත්මක ලෙසින් සක්‍රීය වුවහොත්, එමඟින් එල් නිනෝ හි වියළි බලපෑම අඩපණ කරමින් කලාපයට අනපේක්ෂිත තද වැසි ගෙන දීමේ ප්‍රවනතාවක් ගොඩනැගීමට ඉඩකඩ පවතී. මෙම සාගර යුගලනය Coupling ඉදිරියේදී හැසිරෙන්නේ කෙසේද යන්න තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්වයකයි. (මූලාශ්‍ර: WMO Probabilistic Multi-Model Ensemble Forecast / Australian Bureau of Meteorology (BOM) Climate Driver Update)

කෙසේ වුවද, ඉන්දියන් සාගරයේ පිහිටි දූපතක් වන ශ්‍රී ලංකාව සහ ඒ අවට මුහුදු කලාපයේ කාලගුණය වඩාත් සංකීර්ණ ස්වරූපයක් උසුලයි. මක්නිසාද යත්, දිවයිනේ ඊසාන සහ නැගෙනහිර දිශාවෙන් මායිම් වන බෙංගාල බොක්ක ආශ්‍රිතව වරින් වර ගොඩනැගෙන පීඩන අවපාත මත ඇතිවන සුළි කුණාටු මෙරට කාලගුණික රටාවන් වෙනස් කිරීමට සමත් වන හෙයිනි. මෙම භූගෝලීය පිහිටීම නිසා ගෝලීය කාලගුණික රටාවන් මෙරටට බලපාන ආකාරය ද විචලනය වීමට ඇති විභවය වැඩිවේ. ඒ අනුව, එල් නිනෝ තත්ත්වයක් උද්ගතවන කාලයේ වියළි බවක් ඇති වීමේ ප්‍රවණතාවක් පෙන් වුවද, මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසම් ප්‍රවාහ හේතුවෙන් අපේ රටට සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීමට ඉඩකඩ පවති යි. එසේම වසරේ අවසාන කාර්තුවට එළඹෙන විට, එනම් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වූ දෙවන අන්තර් මෝසම් සමයේදී ශ්‍රී ලංකාව පුරා, විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රියේ අකුණු හා ගිගුරුම් සහිත වැසි බහුලව වර්ධනයවීමට ඉඩකඩ පවතී. එම තත්ත්වයන් වෙනස්කම් වලට නතුවිය හැකි වුවද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි පතිත කරවන බව දේශගුණික ඉතිහාසය අපට පෙන්වා දෙයි.

එසේ වුවද, වසරේ අවසාන කාර්තුවේදී එළඹෙන මෙම දෙවන අන්තර් මෝසම් සමයේ සැබෑ ස්වභාවය ද බෙහෙවින් අවිනිශ්චිතය. ඉතිහාස දත්තවලට අනුව එල් නිනෝ පැවති වර්ෂවලදී ඔක්තෝබර්-දෙසැම්බර් කාල සීමාවේ බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාත සක්‍රීය වීමේ ප්‍රවණතාව පෙන්නුම්කර තිබුණද, මෙවර වර්ධනය විය හැකි පීඩන අවපාත ගණන, ඒවා සුළි කුණාටු දක්වා පරිවර්තනය වීමේ කාලය හෝ ඒවා ගමන් කරන නිශ්චිත දිශානතිය කල්තියා පුරෝකථනයවීමක් දැකගත නොහැක. මේ නිසා, වසරේ මැද භාගයේ උදාවිය හැකි වියළි තත්ත්වය මෙම අකාලික වැසි මඟින් සමනය වේද, නැතහොත් තවදුරටත් නියඟය දික්ගැස්සේද යන්න තීරණය වන්නේ එම අවස්ථාවේ වායුගෝලීය පද්ධතිවල හැසිරීම මත පමණි.

කලාපීය අනාවැකි සහ අවදානම

එනමුත් මෙම පසුබිම තුළ, ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සහ South Asian Climate Outlook Forum (SASCOF) සමඟ එක්ව නිකුත් කර ඇති අනාවැකිය කෙරෙහි අපගේ අවධානය විශේෂයෙන් යොමු කළ යුතු වේ. ඒ අනුව, 2026 ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා නිරිතදිග මෝසම් කාලය තුළ දකුණු ආසියානු කලාපය, සාමාන්‍ය මට්ටමින් අඩු වර්ෂාපතන තත්ත්වයකට නැඹුරු විය හැකි බව පෙන්වා දෙයි. එසේම ගොඩබිම හා සාගර මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයට වඩා ඉහළයාමේ වැඩි සම්භාවිතාවක් පවතින බව තවදුරටත් එමගින් පෙන්වා දෙයි. (මූලාශ්‍රය: https://www.sahf.info/sascof/ සහ https://wmo.int/media/news/south-asia-expected-receive-below-average-monsoon-rainfall)

එමෙන්ම ගෝලීය මට්ටමින් දේශගුණ නිරීක්ෂණ පද්ධති පෙන්වා දෙන්නේ කාර්මික යුගයට පෙර පැවති මට්ටමට වඩා ගෝලීය උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. මෙය ප්‍රධාන වශයෙන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් වැනි හරිතාගාර වායු වැඩිවීම හේතුකොටගෙන ඇතිවන්නා වූ තත්ත්වයකි. එයට හේතුව අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් බව නොරහසකි. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම් සෙලෙස්ටේ සාවුලෝ මහත්මිය පෙන්වා දෙන පරිදි, 2023-24 වසරවල පැවති එල් නිනෝ තත්ත්වය ඉතිහාසයේ වාර්තා වූ ප්‍රබලම පහෙන් එකක් වූ අතර, එය 2024 සහ 2025 වසරවල අප දුටු වාර්තාගත ගෝලීය උෂ්ණත්වයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ. මෙම වසරේදී ද එම උණුසුම් වීමේ ප්‍රවණතාවය අඛණ්ඩව සිදුවන අතර එය තාප තරංග, ගංවතුර සහ නියඟ වැනි දරුණු කාලගුණික සිදුවීම්වල ව්‍යාප්තිය ද වෙනස් කරමින් පවතින ආකාරය ද පෙන්වා දෙයි.

ගෝලීය මැදිහත්වීම

ඇති විය හැකි මෙවැනි තත්ත්වයන් කෙරෙහි වඩාත් අවධානයෙන් පසුවන්නේ ලෝක කාලගුණ විද්‍යා  සංවිධානයයි. එය ගෝලීය වශයෙන් කාලගුණ විද්‍යා ක්ෂේත්‍රය ඔස්සේ එක් එක් රාජ්‍යයන් සම්බන්ධීකරණයට මැදිහත්ව ක්‍රියා කරයි. ඒ අනුව පෘථිවි නිරීක්ෂණ ජාල සමගින් කාලගුණ චන්ද්‍රිකා ඒකාබද්ධකරණය ඔස්සේ එක් එක් රටවල තත්කාලීන හා නිවැරදි වූ කාලගුණික දත්ත හුවමාරු කර ගැනීමට හා විශ්ලේෂණයට අවස්ථාව උදාකර දී ඇත. විශේෂයෙන්ම ලෝකය පුරා සිදුවන ස්වභාවික විපත්වලින් 90% කට ආසන්න ප්‍රමාණයක් කාලගුණය, දේශගුණය හෝ ජලය සමඟ සම්බන්ධව සිදුවන බැවින්, මෙම රාජ්‍යයන් අතර සම්බන්ධීකරණය හා තත්කාලීන දත්ත වාර්තාකරණය අන් කවරදාටත් වඩා දැන් වැදගත් වී තිබේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ Early Warnings for All වැඩසටහන ලෝක ඉතිහාසයේ වඩාත්ම අභිලාෂී ප්‍රජා ඔරොත්තුදීමේ වැඩසටහන් අතරින් එකක් ලෙස පෙන්වා දිය හැකිවේ. මක්නිසාදයත්, එහි අරමුණ 2027 වන විට ගෝලීය වශයෙන් සෑම පුද්ගලයෙකුම ඵලදායී පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ඔස්සේ ආරක්ෂා කිරීමයි. විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව කාලීන අනතුරු ඇඟවීම් මගින් පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම, ඊට සූදානම් වීම සහ අවදානම් පදනම් කරගත් පූර්ව තීරණ ගැනීම ඔස්සේ සිදුවිය හැකි විපත් හා හානි 30% ක් දක්වා අඩු කර ගත හැකිවීම ඊට හේතුව යි. (මූලාශ්‍රය: https://www.un.org/en/climatechange/early-warnings-for-all)

අත්දැකීම් සහ තාක්ෂණය

මේ අතර නූතන කාලගුණ පුරෝකථන සේවා දැන් සාම්ප්‍රදායික මට්ටමෙන් ඉදිරියට ගොස් බලපෑම් පදනම් කරගත් පුරෝකථන Impact-Based Forecasting ක්‍රමවේදයන් වෙත පරිවර්තනය වෙමින් පවතී. මෙහිදී අවධානය යොමු වන්නේ කාලගුණය කුමක්ද යන්න පමණක් නොව, එය කොතැනකට බලපායිද සහ කොපමණ තරමකට බලපායි ද යන්නයි. විශේෂයෙන් කෘතිම බුද්ධි මෙවලම් සහ ඉහළ කාර්යසාධන පරිගණක High Performance Computing-HPC ඇසුරෙන්, රැස්කර ගන්නා කාලගුණික දත්ත විශාල ප්‍රමාණයක් වේගයෙන් විශ්ලේෂණය කරමින් වඩා නිවැරදි හා කාලීන අනාවැකි පැවසීමට හැකියාව දැන් උදාවී තිබේ.

මෙවන් වාතාවරණයක් යටතේ කාලගුණික අවදානම් පිළිබඳ මෑත කාලීන හොඳම උදාහරණයක් ලෙස 2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා Ditwah සුළි කුණාටුව දැක්විය හැකිය. ඉන් පසුවද ශ්‍රී ලංකාවේ කැලණි, කළු, මහවැලි, මා ඔය, දැදුරු ඔය, මල්වතු ඔය සහ ගිං ගඟ ආශ්‍රිතව නැවත නැවතත් ගංවතුර තත්ත්වයන් ඇතිවීම ජන ජීවිත, යටිතල පහසුකම් සහ කෘෂිකර්මය කෙරෙහි දැඩි බලපෑම් එල්ල කළේය. එහෙයින් එළඹිය හැකි බියකරු කාලගුණ ස්වරූපයට පෙර අප ඒ උදෙසා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය  කටයුත්තකි.

සමාජ-ආර්ථික පීඩනය

විශේෂයෙන්ම එල්-නිනෝ තත්ත්වයක් උද්ගත වුවහොත්, ගොඩනැගෙන දිගු කාලීන වියළි කාලගුණය යටතේ පානීය ජල මූලාශ්‍රයන්හි ජලය හීන වනු ඇත. ඒ හේතුවෙන් අපිරිසිදු ජලය භාවිතයට ජනතාව පෙළඹීම මත රෝගකාරක ව්‍යාප්තියේ අවදානම ඉහළ යා හැකි අතර, උණුසුම් සහ අස්ථාවර වර්ෂාපතන රටාවන් මත ඩෙංගු වැනි රෝග ව්‍යාප්තියට ද හිතකර පරිසර තත්ත්වයන්ද නිර්මාණය විය හැකිය. එමෙන්ම කෘෂිකාර්මික ජල මූලාශ්‍ර සහ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජලමට්ටම පහත යාම හෝ සිඳීයාම සහ ජල පෝෂක ප්‍රදේශයන්හි භූගත ජලධාරිතාව හීනවීම ද අපේක්ෂා කළහැකි වේ. තෘණ සම්පත් වියළී මිය යාමට ඇති විභවය වැඩි හෙයින් දේශීය කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පහත වැටීම මෙන්ම සත්ත්ව ප්‍රජාවගේ පැවැත්ම කෙරෙහිද මෙම තත්ත්වය දැඩි ලෙස බලපානු ඇත.

එමෙන්ම, ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාව, ඉහළ ණය බර සහ ජාත්‍යන්තර සැපයුම් දාම බාධා කිරීම්, භූ-දේශපාලනික අවිනිශ්චිතතා සහ වැඩිවන ආනයන පිරිවැය හේතුවෙන් කාලගුණයේ මෙම අහිතකර බලපෑම බහුතරයක් රටවලට දැඩි පීඩාකාරී වාතාවරණයක් උදාකරදෙනු ඇත. (මූලාශ්‍රය: ESCAP Economic and Social Survey of Asia and the Pacific 2026). ඒ අනුව දේශීය ආහාර බෝග නිෂ්පාදනය පහත වැටීම මත ආහාර ආනයන වියදම් ඉහළ යනු ඇත. වැවිලි කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනය පහත යාම ඔස්සේ ඇතැම් අපනයන බෝගවල ආදායම් අඩුවීම මත විදේශ විනිමය උපයාගැනීමේ හැකියාව අඩපනවනු ඇත. එමෙන්ම විදේශ මුදල් මතින් යැපෙන පවුල් ඒකකවල මූල්‍ය ශක්තියට ද අතිරේක පීඩනයක් එල්ල වනු ඇත. මේ ඔස්සේ මෙරට ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි පීඩනය තවතවත් තීව්‍ර විමක් අපේක්ෂා කළහැකි වේ.

ප්‍රජා වගකීම

උදාවිය හැකි කුමන හෝ කාලගුණික තත්වයකට මුහුණ දීම උදෙසා ඥානාන්විතව කටයුතු කිරීම අප සතු වගකීමකි. ඒ වෙනුවෙන් මහා පරිමාණ රාජ්‍ය ක්‍රියාමාර්ග දෙස බලා නොසිට, අප අවට ඇති කුඩා වැව්, ඇළ වේලි, අමුණු සහ ජල මූලාශ්‍ර ආක්‍රමණය කර ඇති වල් පැලෑටි හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය, ප්‍රජා දායකත්වයෙන් කඩිනමින් පිරිසිදු කර ගැනීමට අප පියවර ගත යුතුවේ. එමෙන්ම, වගාබිම් වෙත ජලය රැගෙන යන ඇළ මාර්ගවල මෙන්ම සුළු වාරිමාර්ග පද්ධති ආශ්‍රිතව පවතින ජල කාන්දු වීම් ප්‍රතිසංස්කරණය කිරීමත්, වියළි කලාපයේ ගෘහස්ථ මට්ටමින් වැසි ජලය රැස්කර ගනිමින් දෛනික ජල පරිභෝජනය අරපිරිමැස්මෙන් සිදු කිරීමත් අත්‍යවශ්‍ය කටයුත්තක් වනු ඇත. පානීය ජල සම්පාදනය යටතේ සපයන ජලයෙන් තවදුරටත් රථවාහන සේවාවන් කිරීම නවතාලිය යුතුද වේ. එපමණක්ද නොව තෙත් බිම් පරිසර පද්ධති (විල්, පොකුණු සහ වගුරු බිම් ආදී) වෙත අපද්‍රව්‍ය බැහැරලීම වළකාගත යුතු අතර ඒවායේ පැවැත්මට හිතකර තත්ත්වයන් ගොඩනැගීමට අපි උත්සුක විය යුත්තෙමු. මන්ද, මහපොළොව වියළී යාමට පෙර අප කරන මෙවැනි සරල පරිසර හිතකාමී සත්කාරයන් ඔස්සේ අප සැමගේ පැවැත්ම වඩාත් තහවුරුවන බැවිනි.

විශේෂයෙන්ම කාලගුණික අවිනිශ්චිතතාව නව සාමාන්‍යය බවට පත්වෙමින් තිබෙන වර්තමාන කාලයේ, උදාවිය හැකි අනතුර කල්වේලා ඇතිව ඇඟවීම් උදෙසා මෙරට කාලගුණ විද්‍යා   දෙපාර්තමේන්තුව පෙරමුණ ගැනීමම පැසසිය යුතු කරුණකි.

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website