අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපතිවරයා වන ජේ ෂා මහතා සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් දේවජිත් සයිකියා මහතා අද (19 දා) කොළඹදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
කෙටි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මෙම ඉහළ මට්ටමේ නියෝජිත පිරිස සමඟ පැවති මෙම හමුවේදී, රටේ ක්‍රිකට් පරිපාලනයේ වත්මන් තත්ත්වය, පවතින අභියෝග සහ දැනට ක්‍රියාත්මක වන පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි.
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් ආයතනයේ පාලන ව්‍යුහය ශක්තිමත් කිරීම සඳහා මේ දක්වා ගෙන ඇති පියවර පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. විශේෂයෙන්ම තීරණ ගැනීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩිදියුණු කිරීම, ආයතනික වගවීම ශක්තිමත් කිරීම සහ වෘත්තීයමය හා කාර්යක්ෂම පරිපාලන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙල අවධාරණය කෙරිණි.
එමෙන්ම, ව්‍යවස්ථාමය හා පරිපාලන ප්‍රතිසංස්කරණ අවසන් කිරීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ග සහ ඒ සඳහා සැලසුම් කර ඇති ආසන්න කාලසටහන් පිළිබඳවද නියෝජිත පිරිස දැනුවත් කරන ලදී. මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ වන්නේ දිගුකාලීන ස්ථාවරත්වයක් සහ නීතිමය රාමුවට අනුකූලව ක්‍රියාත්මක වන, නිසි ලෙස තේරී පත් වූ පාලන කණ්ඩායමකට බලය පැවරීමට හැකි පරිපාලන පද්ධතියක් ගොඩනැගීමයි.
මෙහිදී ජේ ෂා මහතා විසින් සාමාජික රටවල් තුළ ක්‍රීඩාවේ යහපත් පාලනය, විනිවිදභාවය සහ තිරසාර සංවර්ධනය ඉතා වැදගත් බව අවධාරණය කළ අතර, ඒ සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවද යළි තහවුරු කළේය.
සාකච්ඡාවේ තවත් වැදගත් කොටසක් වූයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන්, තරුණ ක්‍රීඩකයින් සඳහා අවස්ථා පුළුල් කිරීම, දේශීය ක්‍රිකට් ව්‍යුහය ශක්තිමත් කිරීම සහ අනාගත ජාත්‍යන්තර තරගාවලි සඳහා සූදානම වැඩිදියුණු කිරීම පිළිබඳ කරුණුයි.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සමග පවත්වාගෙන ආ දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, තාක්ෂණික හා පරිපාලන දැනුම හුවමාරු කිරීම සහ ගෝලීය ක්‍රිකට් සංවර්ධනය සඳහා එකමුතුව ක්‍රියා කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.
මෙම හමුව සාර්ථකව පැවැත්වීම සහ ඵලදායී සංවාදයක් සඳහා අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජේ ශා සහ දේවජිත් සයිකියා වෙත සිය කෘතඥතාව පළ කළ අතර, මෙවැනි උසස් මට්ටමේ සංවාද ක්‍රිකට් පාලන ක්ෂේත්රයේ අනාගත ස්ථාවරත්වයට වැදගත් දායකත්වයක් ලබා දෙන බවද අවධාරණය කෙරිණි.
source:srilankacricket,lk
















