2026 මැයි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 මැයි මාසයේ දී අප්‍රේල් මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින් 56.6ක දර්ශක අගයක් වාර්තා කළේය. සියලුම උප දර්ශක අගයන් මෙම මාසය තුළ දී කඩඉම් මට්ටමට වඩා ඉහළින් වාර්තා වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත දර්ශකය ද ඉහළ ගියේය. කෙසේ වෙතත්, සමීක්ෂණයට ප්‍රතිචාර දක්වන්නන් විසින් මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සිය මෙහෙයුම් කටයුතුවලට තිබෙන අභියෝග පිළිබඳව තවදුරටත් අදහස් දක්වන ලදී.
නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල වැඩිවීමට ආහාර හා පාන නිෂ්පාදන සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන යන අංශවල වර්ධනය ප්‍රධාන වශයෙන් හේතු විය. පෙර මාසයට සාපේක්ෂව මැයි මාසයේ වැඩ කරන දින ගණන වැඩි වීම නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වැඩිවීමට ප්‍රධාන වශයෙන් දායක විය. තවද, නව ඇණවුම් සහ නිෂ්පාදනයේ වැඩිවීමට අනුකූලව මෙම මාසය තුළ තොග මිලදී ගැනීම් ඉහළ ගියේය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මැයි මාසයේ දී ද ඉහළ මට්ටමක පැවතුණි.
ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා වන අපේක්ෂාවන් කඩඉම් මට්ටමට වඩා ඉහළින් පවතින අතර, මැද පෙරදිග ගැටුම හා සම්බන්ධ අවදානම් තත්ත්ව ව්‍යාපාර අපේක්ෂාවන් මත තවදුරටත් බලපෑමක් ඇති කරනු ලබයි.
සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 මැයි මාසයේ දී දර්ශකාංක 56.9ක අගයක් වාර්තා කළේය.
2026 මැයි මාසයේදී සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම්, පසුගිය මාසයේ වාර්තා වූ පහළ යෑමෙන් අනතුරුව යථා තත්ත්වයට පත් විය. ප්‍රධාන වශයෙන් මෙම වර්ධනය සඳහා මූල්‍ය, වෘත්තීය සහ අනෙකුත් පුද්ගලික සේවා යන උප අංශ හේතු වූ අතර, දේපළ වෙළෙඳාම්, තොරතුරු තාක්ෂණ වැඩසටහන්කරණ සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු ද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය.
2026 මැයි මාසයේදී නව ව්‍යාපාර ඉහළ යෑමක් වාර්තා කළ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් මූල්‍ය සහ වෘත්තීය සේවා කටයුතුවල සිදු වූ වර්ධනය හේතු විය. තොග සහ සිල්ලර වෙළඳාම, අනෙකුත් පුද්ගලික සේවා සහ භාණ්ඩ ප්‍රවාහන අංශ ද මෙම ඉහළ යාමට දායක විය.
සේවා ගිවිසුම් කාලය අවසන් වීම, විශ්‍රාම ගැනීම් සහ ඉල්ලා අස්වීම් හේතුවෙන් 2026 මැයි මාසයේ දී සේවා නියුක්තිය පහළ ගියේය. මේ අතර, නිම කිරීමට නියමිත කාර්යයන් පෙර මාසයට සාපේක්ෂව වැඩි වේගයකින් තවදුරටත් පහත වැටුණි.
ඉදිරි කාර්තුව සඳහා ව්‍යාපාරික ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් ධනාත්මක මට්ටමක පවතින අතර, පෙරහැර සමය වෙනුවෙන් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යාමට ඇති අපේක්ෂාව සහ වැඩිදියුණු වූ ආර්ථික තත්ත්වයන් ඒ සඳහා හේතු විය. කෙසේ වෙතත්, පුළුල් ගෝලීය අවිනිශ්චිතතාවයන් හේතුවෙන් මෙම අපේක්ෂිත වර්ධනයට තවදුරටත් අවදානම් මතු විය හැකිය.















