ශ්‍රී ලංකාවේ රෙදිපිළි සහ ඇඟලුම් අංශයෙන් අපනයන ආදායම 2026 මුල් කාර්තුව තුළ 7.3%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව සඳහන් වේ.
2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,624.7ක් වූ අතර එය 2025 මුල් කාර්තුව තුළ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 1,751.8ට සාපේක්ෂව සියයට 7.3 ක අඩුවීමකි.
මේ අතර, 2026 වසරේ මුල් මාස හතර සඳහා ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම සුළු වැඩිවීමක් වාර්තා කළ අතර එය 2025 එම කාලපරිච්ඡේදයේ ඇමරිකානු ඩොලර් මිලියන 4,315.6 සිට ඇමරිකානු ඩොලර් මිලියන 4,534.9 දක්වා ඩොලර් මිලියන 222.3කින් ඉහළ ගොස් ඇත.
2026 වසරේ මුල් කාර්තුව තුළ ආනයන වියදම 2025 දී ඇමරිකානු ඩොලර් මිලියන 6,572.9 සිට 2026 දී ඇමරිකානු ඩොලර් මිලියන 8,227.9 දක්වා ඩොලර් මිලියන 1655කින් හෙවත් 25.2%කින් ඉහළ ගියේය. මෙම ඉහළ යාම පාරිභෝගික භාණ්ඩ ආනයනය සියයට 32.8කින්, අතරමැදි භාණ්ඩ ආනයනය සියයට 24.1කින් සහ ආයෝජන භාණ්ඩ ආනයනය සියයට 19.8 කින් ඉහළ යාම හේතුවෙන් සිදුවිය.
ආනයන වියදම ඩොලර් මිලියන 1655කින් ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස, 2026 මුල් කාර්තුව තුළ වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 3,693 දක්වා පුළුල් විය. මේ හිඟය ප්‍රධාන වශයෙන් අපනයන ආදායමට සාපේක්ෂව ආනයන වියදම්වල වේගවත් වර්ධනය හේතුවෙන් සිදු වූ බව මහ බැංකුව පැවසුවේය.
















