ශ්‍රී ලංකාවේ MSME  බලගැන්වීමට ජාතික සමුළුවක් කොළඹදී

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) අංශය බලගැන්වීම සදහා වන ජාතික සමුළුවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් (10 දා) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදී පවත්වන ලදී.

“ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) බලගැන්වීම, අභියෝග, අවස්ථා සහ ඉදිරි මාවත” යන තේමාව ඔස්සේ පැවැත්වූ  මෙම ජාතික සමුළුවේදී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකත්ව (MSME) අංශය ශක්තිමත් කිරීම සඳහා ගත හැකි උපායමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස MSME සලකන අතර මෙමඟින් රැකියා උත්පාදනය, නවෝත්පාදනය, කලාපීය සංවර්ධනය සහ දරිද්‍රතාවය අවම කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් සපයයි. නමුත් මෑත කාලීන ආර්ථික අභියෝග හමුවේ මෙම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකත්ව අංශය අවදානමකට ලක්වූ අතර, ඉන් මිදීම සදහා ප්‍රතිපත්ති සහ ශක්තිමත් ආයතනික සහයෝගයක අවශ්‍යතාවය මතුවිය. ඒ අනුව මෙම සමුළුව මගින් ප්‍රතිපත්ති  සම්පාදනයට පහසුකම් සැලසීම, තරඟකාරිත්වය සහ දිගුකාලීන තිරසාරභාවය වැඩි දියුණු කළ හැකි උපායමාර්ග පිළිබදව අවධානය යොමු කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා, 

“මේ වන විට 3.2% ක් වන ලංකාවේ ව්‍යවසායකත්ව ප්‍රතිශතය  2030 වසර වන විට තුන් ගුණයකින් වැඩි කර 10% ක් දක්වා ගෙන ඒම අප අමාත්‍යාංශයේ අරමුණයි. ඒ සඳහා කර්මාන්ත ක්ෂේත්‍ර 27 ක් සමග අමාත්‍යාංශය කටයුතු කරනවා.  වර්තමානයේ  විශ්ව විද්‍යාල වලින් උපාධිධාරීන් ලෙස පිටවන ශිෂ්‍යයින්ගෙන්  කර්මාන්ත ක්ෂේත්‍රයට ලැබෙන දායකත්වය ඉතාම අවම මට්ටමකයි පවතින්නේ. මේ නිසා ඉදිරියේදී අධ්‍යාපනයේ විවිධ මට්ටම්වලදී ශිෂ්‍යයින් කර්මාන්ත ක්ෂේත්‍රය වෙතට යොමු කරවීමටත් ඔවුන්ට මේ පිළිබඳව ලබාදෙන ප්‍රායෝගික අධ්‍යාපනය වැඩි කිරීමටත් කටයුතු කරනවා”  යැයි පැවසීය. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA ) සමඟ එක්ව මධ්‍යම පළාතේ MSME 1,000 ක් ඇතුලත් කොට සිදු කල සමීක්ෂණයකින් සොයා ගත් කරුනු මෙහිදී ඉදිරිපත් කළ අතර මෙම අධ්‍යයනය මඟින් MSME වල මූල්‍ය තිරසාරභාවය, පැවැත්මේ හැකියාව සහ අර්බුද සදහා ප්‍රතිචාර දැක්විමේ උපාය මාර්ග පිළිබදව සමීක්ෂණය කල අතර මෙම ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වටිනා තොරතුරු රැසක් මෙම සමීක්ෂණය මඟින් ලබාදෙන ලදී.

ව්‍යවසායකත්වය සහ MSME තිරසාරභාවය ඇතුළුව MSME සංවර්ධනයට අදාළ ප්‍රධාන ගැටළු ගවේෂණය කර සකස්කරනු ලද “ශ්‍රී ලංකාවේ MSME බලගැන්වීම, අභියෝග, අවස්ථා සහ ඉදිරි මාවත” ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහිදී සිදු විය. එසේම පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ NEDA ආයතනය එක්ව ගොඩ නැගීමට නියමිත ශ්‍රී ලංකා ව්‍යවසාය පරිසර දර්ශකය (Sri Lanka Enterprise Climate Index – SLECI) ප්‍රකාශයට පත් කිරීමද මෙහිදී සිදුවූ අතර මෙම දර්ශකය මගින් MSME ව්‍යවසාය සදහා මූල්‍ය, වෙළඳපල, තාක්ෂණය, කුසලතා සහ ආයතනික සහාය සඳහා ප්‍රවේශවීමේ  දී  දිස්ත්‍රික්ක අතර  පවතින විෂමතා හඳුනා ගැනීමට අවස්ථාව උදාවෙයි.

මෙම ජාතික සමුළුව සඳහා  ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියයේ සභාපති ලක්ෂ්මන් අබේසේකර, අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, විශ්වවිද්‍යාල පර්යේෂණ සභාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනක ඒකනායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල, මහාචාර්ය අතුල ඒකනායක, කොළඔ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන්, සංවර්ධන වෘත්තිකයන්, කර්මාන්ත නායකයින්, මූල්‍ය ආයතන සහ ව්‍යවසායකයින් රැසක්‌ සහභාගි වූහ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website