මේ අභියෝගය අපට පහසුවෙන් කළමනාකරණය කර ගන්න පුළුවන් – ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡාවේ දී කරුණු කිහිපයක් වෙත දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය මඟින් මතු කරන  ප්‍රමුඛ කාරණා වන එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ඩොලරය ඉහළ යාම සම්බන්ධ කාරණා වගේම රජය වාහන ආනයනය සම්බන්ධයෙන් යම් බදු වැඩි කිරීමක් කළා. ඒ බදු වැඩි කිරීම සමඟ ඇති වූ තත්ත්වයන් තුළ සත්‍ය තොරතුරු එළියට එනවාට වඩා අසත්‍ය තොරතුරු විශාල ප්‍රමාණයක් වාර්තා වෙමින් තිබෙනවා. මේ කරුණු සම්බන්ධයෙන් නිවැරදි සහ නිරවුල් පැහැදිලි කිරීමක් කිරීමේ අවශ්‍යතාව මේ අවස්ථාවේ තිබෙනවා.

  • බොරු තොරුතුරු සමාජගත කිරීම

ඒ වගේම විදේශ විනිමය අනුපාතය, රටක ආර්ථිකය, ප්‍රගතිය, සංවර්ධනය යනාදී වශයෙන් සියල්ල මනින ‘එකම නිර්ණායකය’ ලෙස සමාජගත කිරීම නිසා සාමාන්‍ය ජනතාව අතරත් යම්කිසි ආකාරයක කැළඹීමක් ඇති වුණා, ඒ වගේම මේ ක්ෂේත්‍රයේ  කටයුතු කරන, අවංකව විදේශ විනිමය වෙළෙඳපොළ හරහා ආනයන – අපනයන කටයුතු කරන ව්‍යපාරිකයින් තුළත් යම්කිසි බියක් සහ සැකයක් ඇති කළා. රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් සමස්ත ආර්ථිකය බිඳ වැටෙනවා කියලා බොරු මතයක් සමාජය තුළ ඇති කළා.

මේ සඳහා එක් උදාහරණයක් ලෙස ඔවුන් යොදා ගත්තා, මනෝ විද්‍යාත්මකව සන්සන්දනය කිරීමට ඉතාම පහසු 2022 ආර්ථික අර්බුදය. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා ඉන්න කාලේ රට බංකලොත් කරලා, බිඳ වට්ටලා ඒ විශාල ව්‍යවසනයක් රට තුළ ඇති කළා, භාණ්ඩ හිඟයක් නිර්මාණය කරලා පෝළිම් යුගයක් ඇති කළා. ඒ කාලයේ දී අපි දැක්කා විදේශ විනිමය අනුපාතයත් විශාල වශයෙන් ඉහළ යනවා. ඒ නිසා වැරදි තොරතුරු සමාජගත කරන අය හොඳම උදාහරණය ලෙස 2022 ආර්ථික අර්බුදය සැසදීමට යොදා ගත්තා. මේ අර්බුදය ඇති වීමට බලපෑ සියලුම කාරණා අමතක කරලා රුපියල අවප්‍රමාණය වීම ඉහළට ගත්තා. ‘ඩොලර් එක රුපියල් 370ට ගියා, දැන් ටික ටික තවත් ඉහළ යනවා, ඊට පස්සේ රට බිඳ වැටෙනවා’ කියලා න්‍යායකුත් සංවර්ධනය කළා.

  • සියලු අංශයන්ගෙන් ස්ථාවර ආර්ථිකයක්

පළමුවෙන්ම මම කියන්න කැමතියි 2022 දී ඩොලරය අධි ප්‍රමාණය වී රුපියල අවප්‍රමාණය වීමත්, වර්තමානයේ පවතින තත්ත්වයක් අහසට පොළව වගේ හේතු කාරණා දෙකක්, අවස්ථා දෙකක්, ඒ දෙක අතර කිසිම ආකාරයක සම්බන්ධයක් නැහැ. 2022 දී තිබුණේ බංකලොත්භාවය ප්‍රකාශ කළ ආර්ථිකයක්. ඒ තත්ත්වය තමයි රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වීම හරහා ප්‍රකාශයට පත් වුණේ.

නමුත් වර්තමානයේ දී, මේ අවස්ථාවේ දී රට තුළ පවතින්නේ එවැනි තත්ත්වයක් නොවෙයි. පසුගිය 2025 දී හෝ 2026 දී මේ දක්වා කාලය ගත්තත් ආර්ථික ස්ථායීකරණය, ප්‍රගතිය, සාර්ව ආර්ථික ස්ථාවරභාවය ආදි සියලු කාරණා ගත් විට ඉතිහාසයේ ස්ථාවරම වර්ෂය බවට 2025 පත්කරලා ඉදිරියට එමින් තිබු‍ණේ. එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුවේ තීරණයක් නිසාවත්, ප්‍රතිපත්තියක් හෝ වංචාවක්, දූෂණයක්, දේශපාලන ප්‍රශ්නයක් ආදි කිසිවකින් තොරව විදේශීය ප්‍රශ්නයකින්, ගෝලීය අර්බුදයක් හේතුවෙන් තමයි යම්කිසි අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වුණේ. මේ ගෝලීය අර්බුදයේ ක්ෂණික ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල ඉහළ ගියා. නමුත් ඉන්ධන ආනයනය නතර කිරීමට හෝ සීමා කිරීමට අපට කිසිම හැකියාවක් නැහැ, එය ආර්ථිකයේ සෑම අංශයකටම ඍජුව බලපානවා. ඒ නිසා ඉන්ධන, ගෑස් සහ පොහොර ආදිය ආනයනය කළ යුතුම තත්ත්වයක් තිබෙනවා.

  • ඩොලරය මත පීඩනයක්

ඉන්ධන, ගෑස් සහ රසායනික පොහොරවල ජාත්‍යන්තර වෙළෙඳපොළ මිල ගණන් ඉහළ ගියා, රක්ෂණ ගාස්තු, ප්‍රවාහන ගාස්තු ඉහළ ගියා. ඒ වගේම අපට අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර වර්ග ආදි සෑම ආනයනික භාණ්ඩයකම මිල ඉහළ ගියා. ඒ වගේම පසුගිය කාලයේ ආනයනය කරන සියලුම භාණ්ඩවල ඩොලර් මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ කාරණයත් අපේ ගෙවුම් ශේෂය මත සහ විදේශ විනිමය අනුපාතය මත බලපෑම් ඇතිකර තිබෙනවා. ඊට අමතරව මැදපෙරදිග යුද තත්ත්වය සහ භූ දේශපාලනික වශයෙන් රටවල් අතර පවතින ආර්ථිකමය හැසිරීම් තුළත් ඩොලරයට වැඩි ප්‍රතිලාභයක් හිමිවීම නිසාත් ඩොලරයට ඇති ඉල්ලුම වර්ධනය වෙලා ඩොලරය ඇති දිශාවට ආයෝජන විතැන් වීම සිදු වුණා. ඒ හරහා අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වී තිබෙනවා.

මෙය ශ්‍රී ලංකාව පමණක් මුහුණ දෙන තත්ත්වයක් නොවෙයි, ආසියානු කලාපයේ රටවල් බොහොමයක් මුහුණ දෙන පොදු තත්ත්වයක්. විශේෂයෙන් ඉන්දියාව  සහ ඉන්දුනීසියාව වැනි අපේ කලාපීය රටවල් ගත්තත් ඉතිහාසයේ ඉහළම අවප්‍රමාණයට එම රටවල දේශීය මුදල් ඒකක මුහුණ දීලා තිබෙනවා. මේ සියලු කාරණා තුළ, මේවා විද්‍යාත්මකව විග්‍රහ කරමින් තීන්දු – තීරණ ගන්නවාට වඩා  සමාජය තුළ අනවශ්‍ය බියක් මතු වුණා. ආනයන තහනම් කරයි, වාහන ආනයනය තහනම් කරයි, රට අර්බුදයක තිබෙන්නේ කියලා.

ජනතාව අතර මෙවැනි ඍණාත්මක මතයක් පහසුවෙන් නිර්මාණය කිරීමට අවස්ථාවක් හා අවකාශයක් තිබුණා. ඒකට හේතුව තමයි 2022 අත්දැකීම තමයි අපගේ මතකයේ තිබෙන්නේ. ඒ මතය අනුව ජනතාව හිතුවා මේ සියල්ල තහනම් කරයි කියලා.

  • කිසිම ආකාරයක ආනයන තහනමක් නෑ

පළමුවෙන්ම ප්‍රකාශ කළ යුතුයි, ආර්ථිකය හකුළුවාලීමට ආණ්ඩුව කිසිම තීන්දුවක් ගෙන නැහැ. ආර්ථිකය නතර කරලා, ආනයන සීමා කිරීම් කරලා, භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමට ආණ්ඩුව කිසිම ආකාරයක තීන්දුවක් ගෙන නැහැ. අපට අවශ්‍ය වන්නේ මේ ආර්ථිය දුවවන ගමන් මේ ගැටලුවලට තිරසර විසඳුමක් ලබා දීමයි. බාහිරින් ඇති වුණ කම්පනයට නිවැරදි, විද්‍යාත්මක පිළිතුරක් සොයා ගැනීමයි.

පසුගිය දිනවල ආනයනවලට වැඩි ඉල්ලුමක් ඇති වුණා. ඒකට හේතුව වුණේ ඉදිරියේ දී ඩොලරයේ අගය තවත් ඉහළ යයි කියලා හිතන ව්‍යාපාරිකයින්, ආනයනකරුවන් සිය ආනයන සඳහා වැඩිපුර ඩොලර් ඉල්ලුමක් නිර්මාණය කිරීමයි. ඊට අමතරව ඉන්ධන ආනයනයට වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය කළා. විශේෂයෙන් පසුගිය මාර්තු සහ අප්‍රේල් මාස දෙකේ ඉන්ධන මිල ගණන් ඉහළ ගියා. ඒ මිල ගණන් වලට ගත්ත ඉන්ධනවලට අදාළ මුදල් මැයි මාසයේ දී ගෙවිය යුතුයි. සාමාන්‍යයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාසිකව ඩොලර් මිලියන 150-200ක් වැනි මුදලක් තමයි ඉන්ධන ආනයනය වෙනුවෙන් වැය කරන්නේ. නමුත් මැයි මාසය වන විට ඉන්ධන ආනයන පිරිවැය ඩොලර් මිලියන 521 දක්වා ඉහළ ගියා. මේ ඉහළ යාමට ඍජුව හේතු වුණේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමයි. මේ තත්ත්වය තුළ ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ යනවා. ඒ ඉල්ලුම සපුරාලීමට කටයුතු කිරීම තුළ ඩොලරයේ හුවමාරු අනුපාතය විශාල වශයෙන් ඉහළ යනවා.

  • රටක් ලෙස සිතීම

රටක් ලෙස යළි අර්බුදයකට යාමට අපි කිසිවෙක් කැමති නැහැ. රටක් ලෙස අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ, එමඟින් ඇති වන පීඩනය අවම කරලා ජනතාවගේ ජීවිතවලට ඇති වන බලපෑම අඩු කර ගැනීමයි. මේක සෑම පුරවැසියෙකුගේම චේතනාව වුණත් ඉතාම සුළු කණ්ඩායමකගේ චේතනාව එක නෙමෙයි. ඔවුන් බලාගෙන හිටියේ ඉක්මනින්ම ඩොලර් එක රුපියල් 360ට ළඟා වෙනකම්. ඊට පස්සේ 370, 400 වාගේ ඉලක්කම් ඔවුන් ඔළුවේ තියා ගෙන හිටියා. සමහර විට ඒක දේශපාලන වුවමනාවක් වෙන්න පුළුවන්, සමහර විට ඒක අවස්ථාවාදීව ලාභ උපයා ගැනීමේ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ දී මේ තත්ත්වය දිගින් දිගටම පැහැදිලි කළා. ‘තොරතුරු පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරව, නිවැරදි විශ්ලේෂණයක් නොකර තීන්දු – තීරණ ගන්න එපා’ කියලා අපි දිගින් දිගටම කිව්වා. මෙවැනි අතාර්කික තීන්දු – තීරණ හරහා සිදුවිය හැකි අලාභයන් ගැන අපි ජනතාව දැනුවත් කළා.

  • සුභ පණිවිඩයක්

මේවැනි පීඩාකාරී වාතාවරණයක් තුළ රටට, ජනතාවට, ව්‍යාපාරිකයින්ට සුභ ප්‍රවෘත්තියක් කියන්න මේ වන විට අපට අවස්ථාව ලැබිලා තිබෙනවා. අන්තර් බැංකු විදේශ විනිමය වෙළෙඳපොළ මැදි අගය මේ වන විට 330ක අගයක් දක්වා අඩු වී තිබෙනවා. මේ අගය මේ ආකාරයෙන් පහළ වැටීම ආනයන – අපනයන කටයුතුවල නිරතව සිටින සමාගම්වලට වගේම රට ගැන හිතන ජනතාවට සුබ පණිවිඩයක් වෙනවාට සැකයක් නැහැ. නමුත් පසුගිය දින කිහිපය පුරා රුපියල කඩා වැටී, ගෙවුම් ශේෂ අර්බුදයක් නිර්මාණය විය හැකි බවට අනාවැකි පළ කළ සුළු පිරිසට මෙය ඉතාම කණගාටුදායක ප්‍රවෘත්තියක් විය හැකියි.

  • ආණ්ඩුවේ වැඩපිළිවෙළ

ඉහත දක්වන ලද අර්බුදයට මුහුණ දීමට ආණ්ඩුව ගෙන ඇති වැඩපිළිවෙළට තොරතුරු පාදකව පියවර ගැනීමක් අවශ්‍ය වෙනවා. රජයක් ලෙස ප්‍රතිපත්තිමය තීන්දු – තීරණ ගැනීමට සිදුවෙන්නේ තොරතුරු පාදකවයි. ඒ වගේම මූල්‍ය ස්ථාවරත්වය ඇතිකරලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඔවුන් සතු විවිධ උපකරණ හා ක්‍රියාමාර්ග අනුව පියවරෙන් පියවර අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඒ අනුව අපි සිතනවා අපට මේ අර්බුදය තිරසාර ලෙස කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙයි කියලා.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility – EFF) හරහා ලංකාවට ඩොලර් මිලියන 700ක් ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 300ක පමණ මුදලක් නොබෝ දිනකින් ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා. අපි දෛනික ක්‍රියාකාරකම් මඟින් උපයා ගන්නා ඩොලර්වලින් තමයි ‘ඩොලර් සැපයුම’ලැබෙන්නේ.

ලංකාව අනුගමනය කරන්නේ ස්ථාවර විනිමය අනුපාතයක් නෙමෙයි පාවෙන විනිමය අනුපාත ක්‍රමයක්. ඒ සඳහා රජය සහ මහ බැංකුව මැදිහත් වෙමින් තිබුණත් වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම අනුව තීරණය වන විචල්‍ය විනිමය අනුපාත ක්‍රමයක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ විචල්‍ය අනුපාත ක්‍රමයේ දී ඩොලර් සැපයුම ඉහළ යන විට රුපියල ශක්තිමත් වෙනවා. මේ සැපයුම වැඩි වෙන්නේ විදේශ සංචිත ගොඩනගා ගැනීමෙන්.

  • ඩොලර් උත්පාදනය

ශ්‍රී ලංකාවට ඩොලර් ලැබෙන ප්‍රධාන ක්‍රමයක් වන්නේ අපනයනයි. පසුගිය වසරේ අපේ අපනයනවල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වුණා. ඒ වගේම පසුගිය මාසවලත් අපි සැලසුම් කළ ආකාරයටම අපනයන වල වර්ධනයක් සිදු වුණා. පසුගිය අප්‍රේල් මාසයේ දී ඉතා සුළුවෙන් අපනයන ආදායම පහළ යාමක් වාර්තා වුණත් ඒක පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට අපට හැකියාවක් තිබෙනවා. සංචාරක කර්මාන්තය මේ වන විට ‘අවාරයට’ මුහුණ දී සිටින නිසා සංචාරක ආදායම්වල යම්කිසි අඩුවීමක් වාර්තා වෙනවා. නමුත් 2025ට සාපේක්ෂව 2026 දී සංචාරක ඉපයීම් වර්ධනය වෙලා තිබෙනවා. ඒ වගේම විදේශ ප්‍රේෂණ ශ්‍රී ලංකාවට ඩොලර් ලැබීමේ ප්‍රධාන මාධ්‍යයක් ලෙස සැලකිය හැකියි. 2025 වර්ෂයේ දී විදේශ ප්‍රේෂණ ලෙස ඩොලර් බිලියන 08ක් පමණ ලැබ තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසය වන විට විදේශ ප්‍රේෂණ ලෙස ඩොලර් බිලියන තුනකට අධික මුදලක් ලැබී තිබෙනවා. මේ වර්ධනය දිගටම සිදු වුණොත් මේ වර්ෂය අවසාන වන විට විදේශ ප්‍රේෂණ ලෙස ඩොලර් බිලියන 09ක් ලැබීමට නියමිතව තිබෙනවා.

  • IMF සාක්ෂි දෙයි

මේ ප්‍රවණතාවට සාක්ෂියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වූ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ / Evan Papageorgiou ඉදිරිපත් කළ සටහනක් උපුටා දක්වන්න පුළුවන්. ඔහු එහිදී ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකාව මේ ක්‍රියාවලියේ දී ඉතාම සාර්ථකව සහ උපායශීලී ලෙස කටයුතු කළා කියලා. ඒ වගේම මහජනතාවගේ සහ ආයෝජකයින්ගේ විශ්වාසය ද දිනාගෙන තිබෙනවා කියලා ඔහු කියනවා. මෙහි දී එවන් මහතා තවත් වැදගත් ප්‍රකාශයක් කරනවා. ඔහු ඉතාම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා ආර්ථිකය යම්කිසි ආකාරයකට ස්ථාවර තත්ත්වයකට පත්ව තිබෙනවා කියලා. ඒ වගේම ඔහු පෙන්වා දෙනවා ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග අභ්‍යන්තර සාධක මත නිර්මාණය වුණ කාරණයක් නොව ජාත්‍යන්තර බලවේගවල බලපෑම හමුවේ නිර්මාණය වුණ තත්ත්වයක් කියලා. ඔහු තව දුරටත් කියනවා ‘මෙවැනි බාහිර බලපෑම්වල මුහුණ දීමේ දී සරල අංක ගණිතමය පිළිතුරක් නැහැ’ කියලා.

  • අපගේ කාර්යභාරය

මෙම සංකීර්ණ සහ අභියෝගාත්මක පසුබිම තුළ අපගේ කාර්යභාරය කුමක් ද ? කියලා මනා වැටහීමක් අපට තිබිය යුතුයි. රජය පාර්ශ්වයෙන් ඇති කාර්යභාරය තමයි මහජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් අපි කිසිම ආකාරයක පුද්ගලික ඇල්මකින් තොරව ප්‍රතිපත්තිමය තීරණ ගන්නවා, මැදිහත් වෙනවා, තොරතුරු බෙදා ගන්නවා වගේම නිසි පරිදි තීන්දු ගන්නවා. ඒ නිසාම තමයි මෙවැනි සංකීර්ණ අර්බුදකාරී අවස්ථාවක ඉතා කඩිනමින් නිසි පිළිතුරු සොයා ගැනීමට අපට අවස්ථාව ලැබෙන්නේ.  ඒ වගේම මම යෝජනා කරනවා සෑම පුරවැසියෙක්ම එකම ප්‍රාර්ථනාවක සිටිය යුතුයි. විවිධ දේශපාලන පක්ෂ පාට අදහස් තිබිය හැකි වුණත් අපි සියලු දෙනාගේම ප්‍රාර්ථනාව විය යුත්තේ බිඳ වැටෙන්නේ නැති ස්ථාවර රටක්, බෙහෙත් ටික හිඟ වෙන්නේ නැති රටක්, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොර රටක්. එවැනි රටක සෑම පුරවැසියෙකුගේම ප්‍රාර්ථනාව වෙන්නේ ආර්ථිකය ස්ථාවර වෙමින් ඉදිරියට යාමයි. ඒ නිසා මම මාධ්‍යවේදීන් ද ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා, තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව සමාජ මාධ්‍යවල විශාල වශයෙන් හුවමාරු වන තොරතුරු වලට බිය වෙන්න එපා, ඒවා විශ්වාස කරන්න එපා. හැකියාවක් තිබෙනවා නම් මෙවැනි සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රශ්න කරන්න, ඒ වගේම ඔබම මේවා ගැන සොයා බලන්න. මෙවැනි සාවද්‍ය ප්‍රවෘත්ති හේතුවෙන් බොහෝ ගැටලු ඇති වෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයින්ට, ඒවා ක්‍රියාත්මක කරන නිලධාරීන්ට මෙවැනි පදනම් විරහිත කතා වෙනුවෙන් තමන්ගේ වටිනා කාලය කැප කිරීමට, විනාශ කර ගැනීමට සිදුවෙනවා.

  • වාහන ආනයනය ගැන ඇත්ත

මේ ආකාරයෙන් ව්‍යාජ, දුෂ් තොරතුරු බහුතව සංසරණය වුණ අවස්ථාවක් ලෙස පසුගිය මැයි 15 වැනිදා වාහන ආනයනයට අදාළ බදු පැනවීම සලකන්න පුළුවන්. වාහන ආනයනය සම්බන්ධයෙන් අධි භාරයක් පැනවීම කළේ යම් උපාය මාර්ගික හේතුවක් මත බව අපි පැහැදිලිව ප්‍රකාශ කළා. අපි ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළා කිසිම ආකාරයකට වාහන ආනයනය නතර කිරීමේ තීන්දුවක් නොගන්නා බව, ආර්ථිකය හකුළුවා ගැනීමට රජයට කිසිම අවශ්‍යතාවක් නොමැති බව. නමුත් ඩොලරය ඉහළ යාමේ තෙරපුමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස පුද්ගලික වාහන ආනයනය මාස කිහිපයකින් කල් දමා ගැනීම සඳහා උපාය මාර්ගික තීරු බදු අධි භාරයක් පැනවීමට අපි ක්‍රියා කළා. අපි අපේ අරමුණ සහ සැලසුම ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළා. නමුත් කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙලා තමයි ප්‍රචාරය වුණේ. ආණ්ඩුව වාහන ආනයනය මත 50%ක අතිරේක බද්දක් පනවලා කියලා තමයි කතාව ගියේ. වාහන මිල 50%කින් ඉහළ ගියා කියලා කිව්වා,

මේ සමඟ තවත් ව්‍යාජ ප්‍රවෘත්ති ගණනාවක් නිර්මාණය වුණා. අපි මේ තීන්දුව ගත්තේ මැයි 15 වැනිදා. නමුත් එදා එල්සී 4000ක් විවෘත වුණා, එක සමාගමක් වාහන 3500ක්ට එල්සී විවෘත කළා වාගේ ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය වුණා. යම්කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් අතේ මෙවැනි දූෂණයට සම්බන්ධ තොරුතුරු තිබෙනවා නම් ඒවා අදාළ අධිකරණකට හෝ විමර්ශන ආයතනයකට ඉදිරිපත් කළ යුතුයි. සමාජ මාධ්‍යවල මේවා කතා කළා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඇත්තටම වාහන 1782ක් පමණයි මැයි 15 වැනිදා ආනයනය කරලා තියෙන්නේ. අපි මේ ප්‍රකාශ කළේ අදාළ තොරතුරු අතේ තියා ගෙන, වගකීමක් ඇතිව. නමුත් මේ නිල සහ සත්‍ය තොරතුරු පිළිනොගෙන ආණ්ඩුවට දිගින් දිගටම චෝදනා කළා. මම පාර්ලිමේන්තුවේ දී ඉතාම පැහැදිලිව කිව්වා ‘පරීක්ෂණ කරන්න පැමිණිල්ලක් කරන්න’ කියලා. නමුත් කිසිවෙක් ඒක කළේ නැහැ. මම යළිත් කියනවා ආර්ථිකමය වශයෙන් සංවේදී කතා, තොරතුරු වගකීමක් සහිතව, විශ්වාසනීය මූලාශ්‍ර සහිතව ඉදිරිපත් කළ යුතුයි.

  • විදේශගත ශ්‍රී ලාංකිකයින්ට යෝජනාවක්

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ යෝජනාවක් කරන්න මම කැමතියි. ඔවුන් ඉතාම වගකීම් සහගතව අදාළ ඩොලර් ලංකාවට එවමින් සිටිනවා. අපි ඒ ගැන අපේ කෘතඥතාව පළ කරනවා. අපි ඔවුන්ගෙන් විශේෂයෙන්ම ඉල්ලන්නේ සාවද්‍ය කතා වලට රැවටිලා නොමග යන්න එපා. ඒ වගේම ඔබ සාධාරණව විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වන විට සාවද්‍ය හෝ පැනික් තොරතුරුවලට රැවටෙන්න එපා. මෙවැනි සාවද්‍ය තොරතුරු හේතුවෙන් ඔබට විශාල අලාභයක් වුණත් සිදුවෙන්න අවස්ථාව බහුලව තිබෙනවා.

අවසාන වශයෙන් මම නැවත අවධාරණය කරනවා, රුපියල අවප්‍රමාණය වීම කෙටි කාලීන ගැටලුවක් පමණයි. ඒකට අපේ වෙළෙඳපොළ ස්වභාවය ඇතුළු ගැටලු ගණනාවක් හේතු වෙලා තිබෙනවා. මේ අභියෝගයට ඔරොත්තු දීමේ හැකියාව ඉතාම වැදගත් වෙනවා. රජයක් ලෙස අපට ඒ ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අපි රාජ්‍ය මූල්‍ය ස්ථාවරභාවය ඉතාම ස්ථාවර තත්ත්වයකට ගෙනවිත් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අභියෝගාත්මක තත්ත්වය ඉතා ඉක්මනින් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website