
උතුරු නයිජර්හි සහරා කාන්තාරයේ දුරස්ථ ප්‍රදේශයක පිපාසයෙන් අවම වශයෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීන් පවසයි.
සිද්ධියෙන් සංචාරකයින් දෙදෙනෙකු පමණක් දිවි ගලවා ගත් අතර ඔවුන් සිද්ධිය බලධාරීන්ට දැනුම් දුන්හ.
මාලි හි ඊද් අල්-අදා මුස්ලිම් උත්සවයට සහභාගී වූ කණ්ඩායමක් ලොරි රථයකින් ආපසු ගමන් කරමින් සිටියදී නයිජර් සහ ඇල්ජීරියාව අතර ප්‍රධාන දේශසීමා හරස් මාර්ගයක් වන ඇසමාකා සිට කිලෝමීටර් 80කට බටහිරින් පිහිටි ස්ථානයක දී ලොරි රථය කාර්මික දෝෂයකට ලක්ව ඇත.
“මෙය අපි වසර ගණනාවක් තිස්සේ කටයුතු කරමින් සිටින දෙයක්. අපි රියදුරන්, සංචාරකයින් සහ සංක්‍රමණ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකුට කාන්තාරය තරණය කිරීමේ අවදානම පිළිබඳව දැනුවත් කරමින් සිටිනවා. මෙම මෑත සිදුවීම අසාමාන්‍ය දෙයක් නොවේ. සාමාන්‍යයෙන් ලිබියාවට හෝ ඇල්ජීරියාවට යන මාර්ගයේ එවැනි සිද්ධීන් සුලභව අපට දැකගත හැකියි” ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානී චෙහුඕ අසිසෝ පැවසීය.
පුද්ගලයින් 49 දෙනකුට මරු කැඳ වූ සිද්ධියට සම්බන්ධ ලොරිය මාලිහි ටෙල්හන්ඩෙක් නගරයෙන් පිටත් වී ඇති නමුත් එහි අපේක්ෂිත මාර්ගයෙන් ඉවතට හැරී ඇති බව අගඩෙස් ආණ්ඩුකාරවරයා පැවසුවේය.
රියදුරු සහ මගීන් දින කිහිපයක් පුරා ලොරිය අලුත්වැඩියා කිරීමට උත්සාහ කළ නමුත් අවසානයේ ඔවුන්ගේ උත්සාහයන් අසාර්ථක විය.
“ජලය නොමැති වීම හේතුවෙන් බොහෝ දෙනෙකුට දිවි ගලවා ගැනීමට නොහැකි වී තිබෙනවා. මළ සිරුරු දුසිම් ගණනක් නිශ්චල ට්‍රක් රථය යට සහ ඒ අවට තිබී සොයා ගත්තා” ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.
මිය ගිය සියලු දෙනා නයිජර් ජාතිකයින් වෙති. ප්‍රාදේශීය බලධාරීන් විසින් ප්‍රදේශයට යවන ලද ගලවා ගැනීමේ කණ්ඩායම විසින් සමූහ මිනී වළවල්වල මෙම සිරුරු වළලනු ලැබීය.
එම ස්ථානයෙන් ආපසු පැමිණෙන අතරතුර, බැටරි ක්‍රියා විරහිත වීමෙන් පසු දින තුනක් තිස්සේ අතරමංව සිටි 60කට වැඩි පිරිසක් රැගත් තවත් කැඩුණු ලොරියක් හමු වූ බව ගලවා ගැනීමේ කණ්ඩායම පැවසීය.
නයිජර් දේශසීමාවේ සිට කිලෝමීටර් 300කට වඩා දුරින් පිහිටි මාලි නගරයක් වන හරූබා සිට ලොරිය පිටත් වූ බව ආණ්ඩුකාරවරයා මාධ්‍ය ප්‍රකාශයක පැවසීය.
නයිජීරියානු හමුදා ඇතුළත් ගලවා ගැනීමේ කණ්ඩායම, “වෙහෙසට පත් සංචාරකයින්ට” ජලය බෙදා හැර වාහනය අලුත්වැඩියා කිරීමට උදව් කළ අතර, ඔවුන්ට ආරක්ෂිතව ඔවුන්ගේ ගමන නැවත ආරම්භ කිරීමට උපකාර කළේය.
බටහිර අප්‍රිකාව පුරා සිට යුරෝපයට ළඟා වීමට උත්සාහ කරන සංක්‍රමණිකයින් සඳහා නයිජර් කාන්තාරය ප්‍රධාන සංක්‍රමණ කොරිඩෝවක් ලෙස පවතී, අනතුරුදායක ගමනට සම්බන්ධ අවදානම් නැවත නැවතත් නොසලකා හරිමින් මෙම සංක්‍රමණ සිදුවේ.
බීබීසී ඇසුරිණි













