නියාමන රාමුවෙන් පිටත ක්‍රියාත්මක වන වැඩිහිටි නිවාසවලට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග පැහැදිලිව නිර්වචනය කිරීම සඳහා වැඩිහිටි සත්කාරක නිවාස පාලනය කරන නීති සහ රෙගුලාසි ශක්තිමත් කිරීම සලකා බලමින් සිටින බව සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක පැවසීය.
නේවාසික වැඩිහිටියන් 12 දෙනකුට මරු කැඳ වූ මිල්ලනිය බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක පසුගිය දා (3) සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු පැවසුවේ අමාත්‍යාංශය අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉල්ලා ඇති අතර, ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට පෙර සොයා ගැනීම් අධ්‍යයනය කරන බවයි.
“මේ වැඩිහිටි නිවාසයේ ගැටලු ගණනාවක් තිබුණා. අධික පිරිසක් මෙහි නේවාසිකව සිටීම, ප්‍රමාණවත් තරම් පහසුකම් නොතිබීම වැනි ගැටලු තිබුණා. මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අදළ පුද්ගලයාව දැනුවත් කර තිබුණා“ ඔහු පැවසුවේය.
“මෙවැනි අවස්ථාවන්හිදී ශක්තිමත් ක්‍රියාමාර්ග ගත හැකි මට්ටමකට පවතින නීති, රෙගුලාසි සහ පළාත් සභා ප්රඥප්ති ගෙන ඒම ගැන අප සිතා බැලිය යුතුයි,” සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක අවධාරණය කළේය.













