පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා අත්‍යාවශ්‍ය රුපියල් මිලියන 765 ක් වටිනා අති නවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර 05 ක් මෙරට රෝහල් පද්ධතියට එක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.
මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ජනතාවට ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් විධිමත්ව සහ වඩා කාර්යක්ෂමව සිදු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ. සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇත.
කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා සහ පියයුරු වල ඇති වන වෙනත් අසාමාන්‍ය ගැටිති හෝ වෙනස්කම් ඉතා මුල් අවධියේදීම හඳුනා ගැනීමට භාවිතා කරන, රුපියල් මිලියන 153ක් වටිනා මෙම එක් මැමෝග්‍රැෆි යන්ත්‍රය බැගින් කොළඹ ජාතික රෝහල, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල වෙත ලබාදීමට නියමිතය. මෙයට අමතරව පවතින හදිසි අවශ්‍යතාවය මත ත්‍රිකුණාමලය හා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් 02 සඳහා ද මැමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් ලබාදීමට කටයුතු යොදා ඇත.
රජයේ රෝහල්වල මැමෝගැෆි පරීක්ෂණ සඳහා සාමාන්‍යයෙන් සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා දීර්ඝ පොරොත්තු ලේඛන පවතී. මෙම නවීන තාක්ෂණික යන්ත්‍ර සෞඛ්‍ය පද්ධතියට එක්වීම තුළින් එම පොරොත්තු ලේඛන අවම කර, ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.














