2026 අප්‍රේල් මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල පහළ යෑමක්

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, පෙර වසරවල සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ පැවති රටාව පිළිබිඹු කරමින්, 2026 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 45.7ක් දක්වා පහළ ගියේය.

තව ද, විශේෂයෙන් ඛනිජ තෙල් රසායනික මත පදනම් වූ අමුද්‍රව්‍ය හිඟය සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ පිරිවැය ඉහළ යෑමෙන් සැලසුම් කළ ඉදිකිරීම් කටයුතු නිසි කලට සිදු කිරීමට ඇති අභියෝගාත්මක වාතාවරණය පිළිබඳව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ අය විසින් වාර්තා කරන ලදී.

මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු  ඇතුළු ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් තවදුරටත් ඉහළ මට්ටමකින් පවතින බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් වාර්තා කිරීම හේතුවෙන් නව ඇණවුම් දර්ශකය මෙම මාසය තුළ වර්ධනය විය. කෙසේ වෙතත්, ඉහළ යන අමුද්‍රව්‍ය පිරිවැය නිසා මිල නැවත සාකච්ඡා කිරීම අවශ්‍ය විය හැකි බැවින් ඇතැම් නව ව්‍යාපෘති ප්‍රමාද විය හැකි බව ප්‍රතිචාර දැක්වූ කිහිප දෙනෙකු විසින් පෙන්වා දෙන ලදී.

ව්‍යාපෘති ලබා ගැනීමේ හැකියාව ස්ථාවරව පැවතීම හේතුවෙන් සමාගම් විසින් සිදු කරන සේවක බඳවාගැනීම් පිළිබිඹු කරමින් සේවා නියුක්ති දර්ශකය තවදුරටත් ඉහළ ගියේය. කෙසේ වෙතත්, බොහෝ සමාගම් විසින් පවතින පුහුණු සේවක හිඟය අවධාරණය කරන ලදී. ප්‍රධාන වශයෙන් මෙම මාසය තුළ දී ඉදිකිරීම් කටයුතු අඩු මට්ටමක පැවතීම හේතුවෙන්, තොග මිලදී ගැනීම් දර්ශකය අප්‍රේල් මාසයේදී පහළ ගියේය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ තවදුරටත් ඉහළ ගියේය.

මැද පෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණයෙන් ඇතිවන අවිනිශ්චිතතා පිළිබඳ අවධානය තවදුරටත් පැවතුනද, ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ලැබීම හේතුවෙන් ඉදිකිරීම් අංශයේ ඉදිරි මාස තුන සඳහා අපේක්ෂා ධනාත්මකව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website