ජිනීවා නුවර පැවැත්වූ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට (WHA) සමගාමීව සංවිධානය කරන ලද “සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෘතිම බුද්ධිය: සදාචාරාත්මක අධීක්ෂණය, නීති, පර්යේෂණ සහ සමානතාව” පිළිබඳ විශේෂ සංවාද මණ්ඩපයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස විශේෂ දේශනයක් කළේය.
ඉන්දියාවේ මූලිකත්වයෙන් සංවිධානය කළ මෙම සැසියට ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය J.P. Nadda, නේපාල සෞඛ්‍ය අමාත්‍ය Nisha Mehta, තායිලන්ත සෞඛ්‍ය අමාත්‍ය Pattana Phompat ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
කෘතිම බුද්ධිය (AI) සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් වේගවත් පරිවර්තනයකට ලක් කරමින් සිටින පපසුබිමක, එහි සාර්ථකත්වය සහ තිරසාරභාවය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ශක්තිමත් පාලන පද්ධතියක්, මහජන විශ්වාසය, සදාචාරාත්මක අධීක්ෂණය සහ නිසි නීතිමය රාමුවක් මත පමණක් බව එහිදී සෞඛ්‍ය ඇමතිවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ AI භාවිතය නියාමනය කිරීම සඳහා සුදුසු නීතිමය රාමුවක අවශ්‍යතාවය හඳුනාගෙන ඇති අතර, පුද්ගල දත්ත ආරක්ෂණ පනත (Personal Data Protection Act) හඳුන්වා දෙමින් දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට මේ වන විටත් පියවර ගෙන ඇත. විශේෂයෙන්ම රෝග විනිශ්චය, සායනික තීරණ ගැනීම සහ රෝගී තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා බලපාන AI මෙවලම් වෛද්‍ය උපකරණ ලෙස ලියාපදිංචි කිරීම, ඇගයීම සහ පශ්චාත්-වෙළඳපොළ අධීක්ෂණය සඳහා වන යාන්ත්‍රණයන් තවදුරටත් ශක්තිමත් කළ යුතුව ඇති බව ඇමතිවරයා පැවසුවේය.
ඩිජිටල් සෞඛ්‍ය පද්ධති සංවර්ධනය කිරීමේදී දත්ත රහස්‍යභාවය, සයිබර් ආරක්ෂණය සහ වගවීම සහතික කෙරෙන දත්ත පාලන රාමුවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වන අතර එම සදාචාරාත්මක ආරක්ෂණ ක්‍රමවේදයන් තාක්ෂණික නිර්මාණයේ මුල් අදියරේ සිටම ඇතුළත් විය යුතුය.
ගෝලීය වශයෙන් සංවර්ධනය කෙරෙන AI විසඳුම් දේශීයකරණයකින් තොරව ඍජුවම භාවිත කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අසමානතා තවදුරටත් පුළුල් කිරීමට හේතු විය හැක. එබැවින් මෙම තාක්ෂණයන් අප රටේ රෝග ව්‍යාප්තිය, සෞඛ්‍ය සේවා කාර්ය ප්‍රවාහයන්, භාෂාව සහ සමාජීය යථාර්ථයන්ට ගැළපෙන සේ අනුවර්තනය කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම, අනාගත පර්යේෂණ කටයුතු සහ ඖෂධ නිෂ්පාදනය සඳහා විශාල දත්ත පද්ධති භාවිත කිරීමේදී, බුද්ධිමය දේපළ අයිතීන් කළමනාකරණය සඳහා නව පරිපාලන ක්‍රමවේද සහ රෙගුලාසි හඳුන්වා දිය යුතුය. මහජන සෞඛ්‍ය ප්‍රමුඛතා, රෝගී සුභසාධනය සහ ජාතික ප්‍රතිපත්ති සැමවිටම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් මෙම තාක්ෂණික සංක්‍රමණය සිදුකිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවේය.















