වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අත්තනගළු ඔය, කළු ගඟ සහ කැලණි ගංගා ද්‍රෝණියෙහි පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක් ඇති බව නිවේදනය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (22) සවස නිවේදනය කළේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් සහ ඒ හරහා වැටී ඇති මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව අවධාරණය කර ඇත.
එසේම කළු ගඟ ද්‍රෝණියට මේ වන විටත වර්ෂාධික තත්ත්වයක් පවතින බවත් ජල මාපක දත්ත විශ්ලේෂණයට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලුගංගා ද්‍රෝණියේ පිහිටි රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කිරිඇල්ල ප්‍රදේශවල පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැකි බව නිවේදනය කර ඇත.
එසේම කැලණි ගංගා ද්‍රෝණියෙහි රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිය, ඇහැලියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්‍රදේශවල පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.














