බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය වලංගු වේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ තද සුළං ඇති විය හැකි බැවින්, සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට වහාම ක්‍රියාත්මක වන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
පසුගිය පැය 24 තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල මිලිමීටර් 244, වේයන්ගොඩ මිලිමීටර් 238, කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල මිලිමීටර් 230, කෑගල්ල දිස්ත්‍රික්කයේ පඹේගම වතුයාය මිලිමීටර් 181 සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නිරිඇල්ල මිලිමීටර් 171 යන ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් වාර්තාවී ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් සහ ඒ හරහා වැටී ඇති මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව අවධාරණය කර ඇත. එසේම කළු ගඟ ද්‍රෝණියට මේ වන විටත වර්ෂාධික තත්ත්වයක් පවතින බවත් ජල මාපක දත්ත විශ්ලේෂණයට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලුගංගා ද්‍රෝණියේ පිහිටි රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කිරිඇල්ල ප්‍රදේශවල පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැකි බව නිවේදනය කර ඇත.
එසේම කැලණි ගංගා ද්‍රෝණියෙහි රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිය, ඇහැලියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්‍රදේශවල පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැකි බව ද වාරිමාර්ග දෙපාරත්මේන්තුව නිවේදනය කර ඇත.
එසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින වර්ෂාධික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරනියගල රුවන්වැල්ල සහ දෙහිඕවිට රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට, ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට නිවාස වලින් ඉවත් වන ලෙස නිවේදනය කර ඇත.
එසේම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කලුතර දිස්ත්‍රික්කයේ හොරන බුලත්කොහුපිටිය, ඉන්ගිරිය, පාලින්දනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස නිවේදනය කර ඇත.
අයහපත් කාලගුණය පවතින ප්‍රදේශවල වෙසෙන මහජනතාව තමන් අවට පාරිසරික වෙනස්වීම් සහ ජල මට්ටම් පිළිබඳව විමසිලිමත් විය යුතු අතර, ගංවතුර අවදානම් සහිත මාර්ගවල ධාවනයෙන් වළකින ලෙස වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. කාලගුණික සහ ගංවතුර තත්ත්වයන් පිළිබඳ තොරතුරු සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය අමතන ලෙස මහජනතාවට දැනුම් දෙයි.













