අඩුආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර පිරිනැමීමට ජනාධිපති අරමුදලේ අවධානය

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහාය දැක්වීමක් ලෙස මාසිකව ශිෂ්‍යාධාරයක් පිරිනැමීම කෙරෙහි ජනාධිපති අරමුදලේ අවධානය යොමු වී ඇත.

මේ බව අනාවරණය වූයේ ඊයේ (20) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදි ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදීය.

ජනාධිපති අරමුදලෙන් මේ වන විට ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභීන්ට ආධාර ප්‍රදානය කරන අතර, පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් විවිධ ශිෂ්‍යාධාර ක්‍රමද ක්‍රියාත්මක කෙරේ. එහි තවත් පියවරක් ලෙස අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීම සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපති අරමුදලට අරමුදල් සැපයීමේදී ලොතරැයි මණ්ඩලවලින් විශාල දායකත්වයක් සැපයේ. එසේ වුවද, ලොතරැයි මණ්ඩලවලට එම ආදායම් උපයා දීම වෙනුවෙන් කැප වී කටයුතු කරන ලොතරැයි අලෙවිකරුවන්ගේ ජීවන මට්ටම සැමදා නොවෙනස්ව පැවතීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර, ඔවුන්ගේ‌ සේවය ඇගයීමට සහ ජීවන බරට සවියක් වීමට ජනාධිපති අරමුදලේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව, අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යාධාර පිරිනැමීමට ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර, ඒ වෙනුවෙන් සිය දායකත්වය සැපයීමට ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීහු සිය කැමැත්ත ප්‍රකාශ කළහ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මෙම ශිෂ්‍යාධාර වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නැංවීමටද මෙහිදි තිරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website