වාහන ආනයන බදු මත 50%ක අධිභාරයක් පැනවීමේ තීරණය කලින්ම කාන්දු වෙලා – නිරෝෂණ් පාදුක්ක

වාහන ආනයන බදු මත 50%ක අධිභාරයක් පැනවීමේ තීරණයට අදාළ අභ්‍යන්තර තොරතුරු නිල ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර තෝරාගත් ව්‍යාපාරිකයින්ට කාන්දු වූ බව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක පවසයි.

නිරෝෂණ් පාදුක්ට අනුව ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පෙර බදු අනුපාතය යටතේ අලුත්ම වාහන 4000ක් ආනයනය කිරීම සඳහා එකම දිනයේදී ණයවර ලිපි (LC) විවෘත කර ඇති අතර එක් ව්‍යාපාරිකයෙකු වාහන 3500ක් සහ තවත් ව්‍යාපාරිකයෙකු වාහන 500ක් සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.

ගැසට් පත්‍රය පිළිබඳ රහස්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට පෙර කාන්දු වී ඇති බව යෝජනා කළ ඔහු බදු තීරණය පිළිබඳව ව්‍යාපාරිකයන්ට පූර්ව දැනුමක් තිබුණේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට දී අද (19) මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙසේ ද පැවසුවේය, “මගේ දැනුමට අනුව පසුගිය සිකුරාදා රුපියල් බිලියන 40කට වඩා වටිනා ණයවර ලිපි විවෘත කර තිබෙනවා. මේ නිසා, රුපියල අවප්‍රමාණය වුණා. මේක වංචාවක් නොවේද? මෙය අභ්‍යන්තර වෙළඳාමක් නොවේද? මෙය භාණ්ඩාගාර වංචාවට වඩා විශාල මංකොල්ලයක් නොවේද?” නිරෝෂණ් පාදුක්ක යළිත් ප්‍රශ්න කළේය.

“ඩොලරය රුපියල් 11කින් ඉහළ ගිය විට අපි ඒ ගැන සොයා බැලුවා. ඒ අනුව අපට දැන ගන්න ලැබුණා වාහන 4000ක් සඳහා ණයවර ලිපි විවෘත කර තිබෙන බව. මේ හරහා රජයට රුපියල් බිලියන 20ක බදු ආදායමක් අහිමි වෙනවා.

“මේ ආකාරයෙන් ණයවර ලිපි 4000ක් හදිසියේ විවෘත කිරීමට හේතු විමසා බැලීමට අපි මහ බැංකුවට ගියා. නමුත් අපට පැහැදිලි වුණේ මේ ගනුදෙනුව ගැන කරුණු සොයා බැලීමට හෝ ණයවර ලිපි විවෘත කිරීම වැළක්වීමට බලධාරීන් අපොහොසත්ව තිබෙනවා. මහ බැංකුව මෙවැනි පියවරක් වැළැක්වීමට අපොහොසත් වුණේ  ඇයි කියලා අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කළා” නිරෝෂණ් පාදුක්ක වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website