පිරි ඉතිරි ගිය මහා භාණ්ඩාගාරයේ මුදලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසිය යුතුයි – විපක්ෂ නායක සජිත්

විවිධ සාධාරණ හේතු මත බදු ගෙවීමට නොහැකි වීම සාපරාධි ක්‍රියාවක් සේ සැලකීමට තීරණය කිරීම නිසා මෙරට ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් ඇතුළු බහුතරයක් ගැටලු රැසකට මුහුණ දි තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (19) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය, “වත්මන් රජය විසින් බදු පරිපාලනය සිදු කරන නාමයෙන් බදු ගෙවීමට අමතක වීම, රෝගී භාවයක් නිසා හෝ විදේශ ගත වීම වැනි හේතු නිසා බදු ගෙවීම ප්‍රමාද වීම වැනි නොසැලකිලිමත්කම නිසා බදු ගෙවීමට නොහැකි වීම සාපරාධි ක්‍රියාවක් සේ සැලකීමට තීරණය කිරීම නිසා මෙරට ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් ඇතුළු බහුතරයක් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. බදු ගෙවිය යුතු සියලු දෙනා බදු ගෙවීම අනිවාර්ය වුවත් අතපසුවීමක් නිසා බදු නොගෙවීම සාපරාදී වරදක් ලෙස සැලකීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමක්. මේ කෙටුම්පත සඳහා විපක්ෂය ඉදිරිපත් කරන සංශෝධන සහ යෝජනා ද ඇතුළත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

වත්මන් රජයේ ජනාධිපතිවරයා සහ මැතිඇමතිවරු අවස්ථා ගණනාවකදී භාණ්ඩාගාරය පිරී ඉතිරි යන ආකාරයෙන් මුදල් ඇති ව පැවසුවා. ඊට අමතරව විස්තීරණ ණය පහසුකම් යටතේ ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් විශාල මුදලක් ලැබෙන බවට වාර්තා වෙනවා. මේ ආකාරයෙන් රජය සතුව මුදල් පවතින්නේ නම් ඉන්ධන මිල දිනෙන් දින ඉහළ දමන්නේ ඇයි ද කියා ගැටලුවක් තිබෙනවා. ඉන්ධන මෙන් ම විදුලි බිල ද වැඩි වීම නිසා ජනතාව අසරණ වී ඇති මොහොතක රජය මේ මුදල් උපයෝගී කර ගෙන ජනතාවට සහන සැලසිය යුතුයි. එසේම වත්මන් රජයේ මැති ඇමතිවරු පසුගිය මැතිවරණ වේදිකාවේ දී පැවසූ ආකාරයට රුපියල් ලක්ෂ 12ට විට්ස් කාර් සිහිනය ද කඩිනමින් සැබැ කරමින් ජනතාවගේ වාහන සිහිනය යථාර්ථයක් කළ යුතුයි.

රුපියලේ අගය අවප්‍රමාණය වීම නිසා වර්තමානය වන විට රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටිනවා. ජීවන වියදම ඉහළ යාම, ආදායම් අසමානතා වර්ධනය, ජනතාවගේ ජීවන මට්ටමට එල්ල වී ඇති දැඩි පීඩනය ඇතුළු කරුණු රැසකට මෙහි බලපෑම සිදුව තිබෙනවා” විපක්ෂ නායකවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website