දේශීය ආදායම් පනතට එක් කළ නව සංශෝධන පිළිබඳව මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් බදු මූලධර්ම මත පදනම්ව දේශීය ආදායම් බදු පනත සංශෝධනය කර ඇති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පැවසුවේය.

බදු අනුකූලතාවය ඉහළ නැංවීමට මෙම සංශෝධනයේ අරමුණ බව ද ඔහු සඳහන් කළේය.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සමඟ එකඟතාවයකින් තොරව හිතාමතා බදු නොගෙවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ඔහු අවධාරණය කළේය.

දේශීය ආදායම් පනතට එක් කළ නව සංශෝධන පිළිබඳව අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ආදායම් බදු පනත අනුව සෑම පුද්ගලයෙකුම තම ආදායම මත පදනම්ව බදු ගෙවීමට යටත් වන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පුද්ගලයන් සඳහා බදු නිදහස් ආදායම් සීමාවක් පවතින බවද සඳහන් කළේය.

පෙර වසරවල වාර්ෂික බදු අයකිරීමේ අවම සීමාව රුපියල් ලක්ෂ 12ක් වූ බවත් එය ලක්ෂ 18 දක්වා ඉහළ දමා ඇති බවත් කී නියෝජ්‍ය අමාත්‍යවරයා වාර්ෂිකව ලක්ෂ 18කට අඩු ආදායමක් ලබන පුද්ගලයින්ට බදු ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කළේය.

යම් පුද්ගලයෙකු ස්ව කැමැත්තෙන් ආදායම් බදු ගෙවා ඇත්නම් ඊළඟ තක්සේරු වර්ෂයේදී එම පුද්ගලයාගේ බදු මුදල ඉහළ ගියහොත් ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාදී ඉක්මනින් සහ පහසුවෙන් බදු ගෙවීමට අවස්ථාව සලසා ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“නව සංශෝධන මඟින් බදු ගෙවීම වඩාත් සරල සහ පහසු කර ඇති අතර අනවශ්‍ය තක්සේරු ලිපි සහ ලේඛන ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ද ඉවත් තිබෙනවා. මෙම සංශෝධන හරහා බදු පදනම පුළුල් කිරීම, බදු පරිපාලනය වැඩිදියුණු කිරීම, සාධාරණත්වය සහ බදු ගෙවීමේ පහසුව ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා” නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website