බටුවත්තේ චාමර පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අධිකරණයේ අනුමැතිය

අසර්බයිජානයෙන් රැගෙන ආ වෙඩිතැබීම් ඇතුළු මෙරට සිදවූ දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු වන බටුවත්තේ චාමර, පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අනුමැතිය ලැබී ඇත.

මෙරට රාජ්‍ය බුද්ධි සේවාව හා අසර්බයිජාන් බුද්ධි සේවාව වන රාජ්‍ය ආරක්‍ෂක සේවාව (State Security Service of Azerbaijan) එක්ව පසුගිය දිනක අසර්බයිජානයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ බටුවත්තේ චාමර යන අනවර්ත නාමයෙන් හදුන්වන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

රාජතාන්ත්‍රික සබඳතා හරහා එම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.05.10 දින දිවයිනට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලදී

සැකකරු වයස අවුරුදු 48 ක් වන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

  • සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ගණේමුල්ල සංජීව, කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත යන අයවලුන් සමඟ සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියාවල නිරතවී ඇති බවට අනාවරණය වීම.
  • 2020.12.06 වන දින සුරාබදු නිලධාරින් විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 100 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු හා වාහන 04 ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම හා සැකරුවන් මෙහෙයවීම ඩුබායි සිට මොහු විසින් සිදුකර ඇති බවට අනාවරණය වීම.
  • 2023.12.31 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය මොහු විසින් මෙහෙයවා ඇති බවට හා එම අපරාධය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සිදුවීමක් මුල්කරගෙන සිදුකර ඇති බවට අනාවරණය වීම.
  • 2024.07.25 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවකට හා ත්‍රී රෝද රථ රියැදුරකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ මෙම සැකකරු විසින් බවට අනාවරණය වීම.
  • 2024.12.13 වන දින කඳාන පොලිස් වසමේදී වීදි මාවත කඳාන ලිපිනයේ පිහිටි සංවිධානාත්මක අපරාධ කරුවෙකුගේ නිවසකට වෙඩි තබා අලාභ කිරීමේ සිදුවීම මෙම සැකකරුගේ අනුගාමිකයින් යොදවා සිදුකර ඇති බවට අනාවරණය වීම.

යන චෝදනා හා වැරදි යටතේ මෙම සැකකරුහට පැය 72 ක රැඳවුම් නියෝග ලබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website