ඉදිරි වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර තොග කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

අවම යෙදවුම් භාවිතයෙන් උපරිම හා ඵලදායී අස්වැන්නක් ලබා ගැනීම සඳහා වන නව පොහොර නිර්දේශ සහ ඉදිරි වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර තොග කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (08) ගන්නොරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

මෙහි දී ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු වූ අතර, ජාතික පොහොර අවශ්‍යතාව නිවැරදිව හඳුනා ගෙන එය ඉදිරිපත් කිරීම සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රජයේ බීජ ගොවිපොළ ඇතුළු ආයතන සඳහා අවශ්‍ය පොහොර සැපයීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

දැනට මෙරට පවතින පොහොර තොග සහ ඉදිරියේ දී ආනයනය කිරීමට නියමිත පොහොර ප්‍රමාණයන් පිළිබඳ දත්ත ද මෙහිදී නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදී.

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගනිමින්, ඉදිරි වගා කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.

නිලධාරීන් හා පොහොර සමාගම් නියෝජිතයන් සමඟ දෙවන අදියර

මූලික සාකච්ඡාවෙන් අනතුරුව, අමාත්‍යාංශ නිලධාරීන් සහ පොහොර සමාගම් නියෝජිතයන් අතර විශේෂ හමුවක් පැවැත්විණි. එහිදී පොහොර ලියාපදිංචි කිරීමේ හා නියාමන ක්‍රමවේදයන් වඩාත් විධිමත් කිරීම පිළිබඳව අවධානය යොමු වූ අතර, වෙළඳපොළට නිකුත් කරන පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සහ නිර්දේශ ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව ද සාකච්ඡා විය.

ගොවීන් අතර නව පරම්පරාවේ පොහොර (New Generation Fertilizers) භාවිතය ප්‍රචලිත කිරීම සහ ඒ සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණවල ප්‍රගතිය ද මෙහි දී විමසා බැලුණි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අනාගත දියුණුව වෙනුවෙන් නවීන තාක්ෂණය මුසු වූ පොහොර භාවිතයේ වැදගත්කම සහ ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගත හැකි ආකාරය පිළිබඳව ද මෙහි දී අදහස් හුවමාරු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website