මෙට්‍රෝ බස් සමාගමට රුපියල් මිලියන 7000ක් වැය කර බස් රථ 10ක් මිලදී ගැනීම මහ දවල් මහා භාණ්ඩාගාරය බිඳීමක් හා සමාන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.
අද (07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මෙරට පොදු ප්‍රවාහනය විනාශ කළ ලංගමයට මේ ආකාරයේ මහජන මුදල් විනාශ කිරීමට හැකියාවක් නොමැති බවයි.
මෙහි දී ගැමුණු විජේරත්න මහතා මෙසේ ද පැවසුවේය, “ මෙට්‍රෝ සමාගමේ බස් 10ක් ගෙනත්ලා දාලා තියෙනවා. සමාගමක් කියලා කිව්වට මේක ලංගමම තමයි. ලංගමේ ටයර් ටික දා ගන්න බැරි බස් රථ කීයක් තියෙනවා ද ?. ගණිකාවක් පෝරුවේ තිබ්බා වගේ වැඩක් තමයි ආණ්ඩුව කරලා තියෙන්නේ. නම වෙනස් කරලා බොරුවට ගේමක් ගහලා තියෙනවා. ඉස්සරත් මේවා වුණා. ලංගමට ‘ජනතා සන්තක’ කියලා දැම්මා. ඊට පස්සේ එක එක දේවල් කළා.
ලංගම එක එක ස්වරූපයෙන් එනවා. ලංගම නිසා තමයි මේ රටේ ප්‍රවාහන කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වුණේ, මේක මම වගකීමෙන් කියන්නේ. අපේ පෞද්ගලික බස්රථ සම්පූර්ණයෙන්ම බ්ලැක් ලිස්ට් වුණේ, කළු පැල්ලමක් ආවේ මේ ලංගම නිසා.
එදා ඉදන් ආණ්ඩු ලංගම බදා ගත්තා, මේ ආණ්ඩුව විතරක් නෙමෙයි. පසුගිය ආණ්ඩුව කාලේ ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ පොඩි බස්රථ 500ක් ගෙනවා. දැන් ඒ බස් ඔක්කොම කොට උඩ, ගේන බස් සේරම කොට උඩ.
ඇයි මේ මිනිස්සු අපේ සල්ලි මේ ආකාරයෙන් නාස්ති කරන්නේ. දැන් මේ මෙට්‍රෝ බස් ව්‍යාපෘතියට රුපියල් මිලියන 7000ක් වියදම් කරනවා. මේවා අපේ බදු සල්ලි. මේවා තමයි ප්‍රසිද්ධියේ මහා භාණ්ඩාගාරය කැඩිම කියලා කියන්නේ, මේවා තමයි එළිපිට භාණ්ඩාගාර සුද්ද කිරීම කියන්නේ. මේවා අපේ සල්ලි.
බස්රථ 10ක් දාලා ව්‍යාපෘතියක් කරනවා. මේ බස් එකක් රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් වෙනවා. මේ සල්ලි දුන්නේ මහා භාණ්ඩාගාරයෙන්. මේ මුදල අපි 10%ක පොළියට ගත්තොත් මාසයකට 896,000ක් පමණ ගෙවන්න ඕනෑ. මේ ගාන ගෙවන්න පුළුවන්ද ?. මේ ප්‍රාග්ධනය ආපසු මහා භාණ්ඩාගාරයට දෙන්න ඕනෑ. කොමිපැණි හැදුවා කියලා ලාභ ගන්න බැහැ. එක එක පෝස්ට් දාලා තිබෙනවාලු සෙනඟ ඉන්නවා කියලා. උදේ – හවස සෙනඟ ඉන්නවා කොහොමත්. දවල්ට සෙනඟ නැහැනේ. මේ බස් එකේ පොලිය විතරක් අවුරුදු පහක් ගෙව්වොත් දවසකට 28,000ක් යනවා. මුළු වියදම ලෙස දවසකට රුපියල් ලක්ෂයක් පමණ වෙන් කළ යුතුයි. මේ බස් එකෙන් දවසකට රුපියල් ලක්ෂයක් හොයන්න පුළුවන් ද ?. කවුද මේකේ ශක්‍යතා වාර්තාව හැදුවේ. එහෙම නොකර බස් ගේන්න බැහැ. මේවා අපේ මුදල්. මේවා ජාතික අපරාධ”.














