බංග්ලාදේශ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් අද (28 දා) සිලෙට්හිදී පැවැති පළමු තරගයෙන් ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට සමත්විය. මේ සමඟම තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් වූ දිලාරා අක්ටර් සහ ජුයාරියා ෆර්ඩස් පන්දු 22 කදී ලකුණු 39 ක සම්බන්ධතාවක් පවත්වමින් වේගවත් ආරම්භයක් ලබා දුන්නද ඒ අතරට පැමිණි චමරි අතපත්තු ෆර්ඩස්ගේ කඩුල්ල දවා ගනිමින් එම සම්බන්ධතාව බිඳ හෙළුවාය. එතැන් පටන් ලකුණු 5 ක් ලකුණු පුවරුවට එකතු වන අතර වාරයේදී තවත් කඩුලු 3 ක් දා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ලකුණු 44 කට කඩුලු 4 ක් ලෙසින් බංග්ලාදේශ ඉනිම අසීරුතාවයට පත් කළහ. දැවී ගිය කඩුලු 3 න් දෙකක් මල්කි මදාරා තමන් සතු කරගනිද්දී මංගල විස්සයි-20 තරගයට සහභාගිවූ මිතලි ආයෝද්‍යා මංගල කඩුල්ලට හිමිකම් කීවාය.
කෙසේ වෙතත් පස්වැනි කඩුල්ලට සහ 7 වැනි කඩුල්ලට ෂෝර්නා අක්ටර්ට එකතු වූ මොස්ටරී සහ සුල්තානා ඛටුන් ලකුණු 39 බැගින් ලකුණු සම්බන්ධතාවන් පැවැත්වීමට දායක වුවද එය ජයග්‍රහණය සඳහා සත්කාරක පිලට ප්‍රමාණවත් නොවීය. එම පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව සදහා පන්දු 50 ක්ද 7 වැනි කඩුල්ලේ සම්බන්ධතාව සඳහා පන්දු 27 ක්ද වැය ව තිබිණ. බංග්ලාදේශ කාන්තා පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරන ගන්නා ලද්දේ ෂෝර්නා අක්ටර් වන අතර ඇය පන්දු 45 කදී ලකුණු 60 ක් ලබා ගත්තාය.
කාසියේ වාසිය තමන් සතු කරගත් බංග්ලාදේශ නායිකාවගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසනදී ශක්තිමත් ඉනිමක් ගොඩනඟමින් කඩුලු 4 කට ලකුණු 161 ක් ලෙස ලකුණු පුවරුවේ රැඳවීමට සමත්විය.
ආරම්භක පිතිකාරිණියන් වූ හසිනි පෙරේරා ලකුණු 07කට සීමා වූ අතර, නායක චමරි අතපත්තු ලකුණු 32ක් ලබා දෙමින් ඉනිම ස්ථාවර කිරීමට උත්සාහ කළාය. කෙසේවෙතත්, ඉනිමේ සැබෑ හැරවුම් ලක්ෂ්‍යය වුණේ ඉමේෂා දුලානි සහ හර්ෂිතා සමරවික‍්‍රමගේ එක්වීමයි. තෙවැනි කඩුල්ල වෙනුවෙන් එක් වුණු මෙම දකුණත් සහ වමත් පිතිකාරිණියන් දෙදෙනා, ලකුණු 67 කට කඩුලු 2 ක් ලෙසින් තිබූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 147 ක් දක්වා ඉදිරියට රැගෙන ආහ.
මොවුන් දෙදෙනා අතරින් ඉමේෂා දුලානි සිය තරග 11 කින් සමන්විත විස්සයි-20 තරග දිවියේ දෙවැනි අර්ධ ශතකය පන්දු 34 කින් සම්පූර්ණ කරගනිද්දී හර්ෂිතා සිය අර්ධ ශතකය පන්දු 30 කින් සම්පූර්ණ කර ගත්තාය.
පන්දු 40 කට මුහුණ දුන් දුලානි හතරේ පහර 7 ක් සමගින් ලකුණු 55 ක් රැස් කරගත්තාය. ඉනිමේ අවසන් පන්දුවේදී දැවී යෑමට මත්තෙන් වේගවත් සහ ආකර්ෂණීය ඉනිමක් ක්‍රීඩා කළ හර්ෂිතා සමරවික්‍රම පන්දු 35කින් ලකුණු 61ක් ලබා ගත්තාය. ඇයගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වූ අතර එය ඇයගේ 9 වැනි විස්සයි-20 අර්ධ ශතකය ලෙසින් සනිටුහන් විය. ඇයගේ මෙම ඉනිම ප්‍රධාන කොට තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින්ද හර්ෂිතා සම්මාන දිනාගත්තාය.
පන්දු යැවීමේ අංශයෙන් බංග්ලාදේශ කණ්ඩායමේ සුල්තානා කතුන් කඩුලු 2ක් ලබා ගනිමින් වැඩිම කඩුලු ලාභිණිය බවට පත්වද්දී අක්ටර් යුගලයන් වූ නහීඩා සහ මරුෆා එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
අද තරගයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාසල් වන කන්තලේ මැදි මහ සහ රජඇල යන විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය හදාරා ඇති මිතලි අයෝද්‍යා විස්සයි-20 අන්තර්ජාතික වරම් දිනා ගැනීම කැපී පෙනුණාය. ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 වරම් දිනූ 59 වැනි ක්‍රීඩිකාව වන්නීය. වර්තමානයේ කන්තලේ මැදි මහ විදුහලේ අධ්‍යාපනය හදරණ, ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වක් සමගින් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන මිතලි ඉකුත්දා නැගිඑන කණ්ඩායම් අතර පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදීද ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුවාය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 161 යි – (හර්ෂිතා සමරවික්‍රම 61, ඉමේෂා දුලානි 55, චමරි අතපත්තු 32, හසිනි පෙරේරා 07, හංසිමා කරුණාරත්න 02*, සුල්තානා කටුන් 29/2)
බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 136 යි – (ෂෝර්නා අක්ටර් 60, ෂෝබනා මොන්ටරි 16, ජූරියා ෆර්ඩස් 16, ඩිලාරා අක්ටර් 23, චමරි අතපත්තු 19/2, මිතලි අයෝද්‍යා 34/2, මල්කි මදාරා 31/2)
මූලාශ්‍රය – srilanka cricket.lk















