ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙරට සංචාරයක නිරත වී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (02) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
සාකච්ඡා අතරතුර, IMF වැඩසටහනේ පස්වන සහ හයවන සමාලෝචනයට අදාළව ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරන ලද අතර, IMF නියෝජිත පිරිස මෑත කාලීන වර්ධනයන් සහ අත්පත් කරගත් ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේය.
වර්තමාන රජය යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගතිය IMF නියෝජිතයින් අගය කළ අතර, විශේෂයෙන් වර්ධන ඉලක්ක සපුරා ගැනීම, ආදායම් කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ විදේශ සංචිත ශක්තිමත් කිරීම තුළින් රට වඩාත් ඔරොත්තු දෙන ආර්ථික පදනමක් කරා සංක්‍රමණය වී ඇති බව සඳහන් කළහ.















