දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඊයේ (26) වාර්තා වූ මාර්ග අනතුරු කිහිපයකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (26) පේරාදෙණිය, මාලඹේ, නිකවැරටිය, කළුතර උතුර, කෝපායි සහ අලව්ව පොලිස් කොට්ඨාශවල මෙම මාරක අනතුරු සිදුවී ඇත.
පේරාදෙණියේදී මෝටර් රථයක ගැටීමෙන් 46 හැවිරිදි පදිකයෙකු මිය ගොස් ඇති අතර, මාලඹේහිදී, යතුරුපැදියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් 25 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මිය ගිය බව පොලිසිය පවසයි.
නිකවැරටියේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් 33 හැවිරිදි කාන්තාවක් මිය ගිය අතර, තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මේ අතර, කළුතර උතුරේදී ත්‍රිරෝද රථයක් පාපැදිකරුවෙකු සමඟ ගැටීමෙන් 59 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය අතර කෝපායිහි දී ත්‍රිරෝද රථයක් පදිකයෙකු සමඟ ගැටීමෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේය.
මේ අතර, අලව්ව ප්‍රදේශයේ සිදු වූ තවත් රිය අනතුරකදී, ලොරි රථයක ගැටීමෙන් පදිකයෙකු මිය ගොස් ඇති අතර මරණකරුගේ අනන්‍යතාවය තවමත් තහවුරු කර නොමැති බව පොලිසිය පැවසීය.
















