ශ්‍රී ලංකා මහබැංකුවේ මගපෙන්වීම යටතේ නවෝත්පාදනය කළ ඩිජිටල් ජාතික ගෙවීම් ජාලය (Govpay) සකස්කර මෙහෙය වන LankaPay ආයතනය, සිය සේවාව ප්‍රශස්ත අයුරින් මහජනතාව අතරට රැගෙන යමින් ඩිජිටල් පරිවර්තනීය යුගයක් කරා මෙරට රැගෙන යාමට කැපවන ආයතන ඇගයීම සඳහා සංවිධානය කළ LankaPay Technnovation – 2026 සම්මාන උළෙල ඊයේ (25) සවස කොළඹ ෂැංග්‍රිලා හෝටල් සංකීරයේදී පැවැත් වුණේය.
එහිදී ඩිජිටල් ගෙවීම් සේවාව (Govpay) ගුණාත්මක අයුරින් භාවිතා කරමින් මහජනතාව අතරට රැගෙන යාමට කැපවන රාජ්‍ය ආයතනයට හිමි සම්මානය ශ්‍රී ලංකා පොලිසිය වෙත පිරිනමන ලදී.
ඩිජිටල් ගෙවීම පද්ධතිය මහජනතාව අතරට රැගෙන යමින් මහජන පහසුව සැලසීමට දක්වන දායකත්වය ඇගයීමට ලක්කරමින් උළෙල සඳහා සහභාගී වූ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, අපරාධ හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සහ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා, පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් මහතා මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක්කෙරුනි.
ගරු ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය යන මහත්වරු ගෞරවනීය ආරාධිතයින් ලෙස සම්මාන උළෙලට සහභාගී වී සිටි අතර ඩිජිටල් ක්‍රමවේද භාවිතයේ මෙරට කැපී පෙනෙන පුද්ගලික ආයතන රැසක ප්‍රධානීන් සම්මාන හිමිකරගනිමින් උළෙලට එක්ව සිටියහ.















