මරඳගහමුල යෝධයා අවදි කළෙමු – වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ

මරදගහමුල සහල් ගබඩාවක්

වසර 13 ක් පමණ භාවිතයට නොගෙන තිබූ මරදගහමුල තොග වෙළඳපොලේ රජයට අයත් සහල් ගබඩා නැවත ආරම්භ කර ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ෆේස්බුක් සටහනක දී අමාත්‍යවරයා පැවසුවේ මරදගහමුල සහල් වෙළඳපොළ කලක් රටේ විශාලතම සහල් වෙළඳ මධ්‍යස්ථානයක් වූ අතර එය ජාතික සහල් මිල තීරණය කිරීමට තරම් බලගතු බවයි.

එම ෆේස්බුක් සටහන සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.

රටේම සහල් මිල තීරණය කරන්නට තරම් මෙරට ප්‍රධානතම සහ දැවැන්ත සහල් වෙළෙඳපොළක් එකල මරඳගහමුල ප්‍රදේශයේ ක්‍රමයෙන් ස්ථාපිතව පැවතිණ.අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, කුරුණෑගල වැනි වී වගාව බහුල ප්‍රදේශවල සිට සහල් මෝල් හිමියන් සිය සහල් නිෂ්පාදන එදා මෙම වෙළෙඳපොළට රැගෙන ආවේ කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගරවල තොග වෙළෙඳුන් දෛනිකව සහල් මිලදී ගැනීමට මරඳගහමුල ප්‍රදේශයට පැමිණෙන නිසාමයි.

2013 වසරේ රුපියල් මිලියන ගණනක් වැය කොට ඉදිකිරීම් සිදුකළ මේ මරඳගහමුල සහල් තොග වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ රජයේ සහල් ගබඩා දෙකක් තිබුණද ඒවා භාවිතයට නොගෙන වසර 13ක පමණ කාලයක් අතහැර දමා තිබුණේ ගොඩනැඟිලිද ජරාජීර්ණ වන්නට ඉඩ හරිමිනි.

එහෙත් වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා ලෙස, ජාතික තොග සපයන්නා වූ  සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ස්ථාපිත කර යළි වෙළෙඳපොළ මිල පාලනය පුද්ගලික අංශයෙන් රජය සතු කරගන්නට වැඩපිළිවෙල සකසන්නට විය.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය සමඟ ඒකාබද්ධව රජයේ වැඩපිළිවෙළ කරට ගත් ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව වෙළෙඳපොළේ සහල් සුලබ කරමින් රජය මීලදී ගත් වී තොග, රට පුරා සිටින සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ලවා සහල් බවට පත්කර වෙළෙඳපොළට ක්‍රමානුකූලව මුදාහැරීම ක්‍රියාත්මක වෙමින් පවතී.

එම ක්‍රියාවලිය වෙනුවෙන් මඟපෙන්වමින් රජයේ සහල් තොග ගබඩා කර ඇති රජය සතු මරඳගහමුල ගබඩා නිරීක්ෂණය සඳහා පැමිණියේ රජයේ ඉදිරි වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමිනි.

වසර 13ක පමණ කාලයක් එකඳු වී මල්ලක් හෝ සහල් මල්ලක් ගබඩා කර නොතිබූ ගබඩාවක් දැන් සහලින් පුරවා ඇත.

සහල් සැපයුම් දාමයේ තීරණාත්මක පුරුකක් ලෙස සැලකෙන මරඳගහමුල සහල්  වෙළෙඳපොළ කේන්ද්‍ර කර ගනිමින් රටේ ජාතික තොග සපයන්නා වන ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ මෙම ගබඩා සපථ කරන්නේ දිනෙන් දින රටට බත දෙන්නට හැකි අනාගතයක පෙරමඟ ලකුණු බව අපට සතුටින් සිහිපත් කළ හැකියි.

මරදගහමුල සහල් ගබඩා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website