ශ්‍රී ලංකාවට නව ප්‍රසම්පාදන නීතියක් අවශ්‍යයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

රජයේ ප්‍රසම්පාදනයට අදාළ ගැටලු රාශියක් ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට නව ප්‍රසම්පාදන නීතියක් අවශ්‍ය බවත් ආචාර්ය හර්ෂ ද සිලවා පැවසුවේය.

නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය (PAFFREL) විසින් පසුගිය 12 වැනිදා සංවිධානය කරන ලද සාකච්ඡාවකදී අදහස් දක්වමින් ආචාර්ය ද සිල්වා මේ බව පැවසුවේය.

මෙහි දී ආචාර්ය හර්ෂ පැවසුවේ නව ප්‍රසම්පාදන නීතියක් හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා රජය  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කර ගත් ගිවිසුමේ වගන්තියක් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ ආචාර්ය හර්ෂ ද සිල්වා, “නීතියේ ආධිපත්‍යය සමානව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම අද තවත් ගැටලුවක්. රජයේ සිටින අයට එරෙහිව දූෂණ චෝදනා තිබෙනවා. නමුත් අල්ලස් කොමිෂම කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. විපක්ෂයේ සිටින අය පමණක් අත්අඩංගුවට ගන්නවා. යුක්තිය ක්‍රියාත්මක වනවා පමණක් නොව, එය සමානව ඉටු කළ යුතුයි”.

මේ අතර වත්මන් රජය සිය මැතිවරණ පොරොන්දු කිහිපයක් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව ද ඔහු සඳහන් කළේය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දීර්ඝ අරමුදල් පහසුකම් ගිවිසුම සංශෝධනය කිරීමට රජය පොරොන්දු වුණා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සංශෝධනය කිරීමට ද රජය පොරොන්දු වුණා. නමුත් රජය මේ කිසිවක් කළේ නැහැ. මෙය පහසුවෙන් බැහැර කළ හැකි තත්ත්වයක් නොවෙයි” ආචාර්ය හර්ෂ වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website