කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන්  සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගිය 12 වනදා පැවැත්විණි.

‘AI for Transforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සබරගමුව පළාත් සභාව විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහාය ඇතිව සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට සබරගමුව පළාතේ විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි විශේෂ පියවරක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම යන අරමුණු ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කර තිබේ.

ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක වන ඩිජිටල්/කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ ධාරිතා සංවර්ධන වැඩසටහන් සම්පත් දායක, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) හිටපු අධ්‍යක්ෂකවරුන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ යන මහත්වරුන් මෙම වැඩමුළුවට සම්පත්දායකත්වය සැපයූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website