ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් සිටි ඉරාන නාවික හමුදාවට අයත් යුධ IRIS Dena නෞකාවට එක්සත් ජනපද නාවික හමුදාවට අයත් සැබ්මැරීනයක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් එම නෞකාව විනාශයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේ දී විපක්ෂය ආණ්ඩුවෙන් දැඩි ප්‍රශ්න කිරීමක් කළේය.

රජය නිල ප්‍රකාශයක් කළ යුතුයි – විපක්ෂ නායක සජිත්
මේ ප්‍රහාරය සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි සංවේදී ජාත්‍යන්තර යුද සිදුවීමක් රටට ආසන්නයේ සිදුව තිබියදී, ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම ඉටු කිරීමට බාධාවක් බවට පෙන්වා දුන්නේ ය.
“ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේ ඉන්දීය සාගරය තුළ අනුමාන කළ හැකි ආකාරයට නාවුක සැතපුම් 40-44 දුරකින් පිහිටි ඉරාන නාවුක හමුදාවට අයත් නෞකාවට විදේශ රාජ්‍යයක මැදිහත්වීම හරහා ප්‍රහාරයක් එල්ල වී මුහුදුබත් වූ බවට විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙහි දී මුහුදුබත් වූ නැවේ සිටි නාවිකයන් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවුක හමුදාව කටයුතු කිරිම සම්බන්ධයෙන් අපගේ ස්තූතිය ඔවුන්ට හිමිවිය යුතුයි. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ මත පළ කරන හෙයින් රජය විසින් නිල මතයක් ඉදිරිපත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළ යුතුයි. මෙම ප්‍රහාරය සබ්මැරීනයක් හරහා ටෝපීඩෝ ප්‍රහාරයක් ලෙස එල්ල කර ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කර ඇති නිසා රජය මේ සම්බන්ධයෙන් ද පැහැදිලි කිරිමක් කළ යුතුයි”.
ඒ මිනිස්සු හරියට ගෙනල්ලා මැරුවා වගේ වැඩක් තමයි මේ කළේ’ – චාමර සම්පත්
“ඉන්දියාවේ විශාඛාපට්නම්වල තමයි තිබුණේ මේ යුද අභ්‍යාසය, ලෝකේ ඔක්කොම ආවා. හැබැයි මේ කරපු බලු වැඩේ අපිව පටලන්න, අපේ රට පටලන්න කරපු බලු වැඩක් මේක. ඒ මිනිස්සු ඒ රටට ආරාධනා කරලා, ඒ රටට ගෙන්නලා යුද අභ්‍යාසයට. ගෙන්නලා ඉවර වෙලා ඒ මිනිස්සුන්ට අනිත් රටවල මිනිස්සු එළියට යනකොට ඒ මිනිස්සුන් කොහෙට යන්න ද? ආරාධනා කරලා ගෙන්නපු රටේ මිනිස්සු, ඒ මිනිස්සු එළියට දාපු හින්දා තමයි ඔය පැත්තෙන් නැව අපේ පැත්තට ඇදුණේ. මේක මහා බලු වැඩක්, අපි පොඩි රටක් වුණත් එහෙම බලු වැඩ කරන්න බැහැ. ඒ මිනිස්සු හරියට ගෙනල්ලා මැරුවා වගේ වැඩක් තමයි මේ කළේ. මේක හරි ම ආසාධාරණ වැඩක්.”
ඇයි ගාල්ල වරායට ඒ නැවට එන්න නොදුන්නේ? – මුජිබර් රහුමාන්
“ඇමෙරිකන් යුද නැව් තිබෙනවා ගල්ෆ් කලාපයේ, ඒ නිසා ඉරානයට යන්න බැහැ මේ නැවට. ඒ යන්න බැරි හින්දා නැව හරෝගෙන ගාල්ල වරායට නාවික සැතපුම් 40ක වගේ දුර ප්‍රමාණයක නැව පැය 11ක් තියාගෙන හිටියා. ඒගොල්ලෝ ලංකා ආණ්ඩුවෙන් අවසර ඉල්ලුවා ඒ නැව ගාල්ල වරායට එන්න. මොක ද මේ යන ගමන් නෙමෙයි ගැහුවේ. නැව තිබුණේ මුහුද මැද නවත්තගෙන මොක ද ඒගොල්ලනට යන්න බැහැ ඉරානයට.ඒගොල්ලන්ගේ සබ්මැරීන් එක මේ අවට තිබුණේ නැහැ. සබ්මැරීන් එක තිබුණේ ගල්ෆ් කලාපයේ. ඒ ගල්ෆ් කලාපයේ ඉඳන් මෙතනට ආවා මේකට පහර දෙන්න. ඉන්දියාව සාම කලාපයක් එක්ක තියෙන ගිවිසුම් රාශියක් තිබෙනවා. එහෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට අපි අත්සන් කරලා තියෙද්දී ඇයි ගාල්ල වරායට ඒ නැවට එන්න නොදුන්නේ කියන ප්‍රශ්නය මතු වෙලා තිබෙනවා,” මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
















