ගල් අඟුරු සම්බන්ධයෙන් මේ අවස්ථාවේ ඇති වෙලා තිබෙන සාකච්ඡාව ගැන මට පැහැදිලිව කියන්න තිබෙන්නේ ඉතාම විනිවිධ ආකාරයට මේ ක්‍රියාවලිය සිදුවෙලා තිබෙනවා. ඒ ගැන අපට කිසිම සැකයක් නැහැ. ඒ වගේම පුනරුද ආණ්ඩුව රාජ්‍ය අංශයේ වංචාව, දූෂණය පිටුදැක ඇති බව, ආණ්ඩුවට මහජන ප්‍රසාදය ඉහළින්ම තිබෙන බව පසුගිය දිනවල නිකුත් කළ ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති ජනමත සමීක්ෂණ හරහා තහවුරු වෙලා තිබෙනවා.
මේ දිනවල ඔබගේ වැඩ කටයුතු ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
මම පමණක් නොවෙයි, පොදුවේ අපේ ආණ්ඩුව, පුනරුද ආණ්ඩුව වැඩි අවධානයක් යොමු කරලා තිබෙන්නේ සංවර්ධන ඉලක්ක වෙතයි. පසුගිය 2025 වසරේ දී අපි වැඩි අවධානයක් යොමු කළේ ආර්ථික ස්ථායිකරණය වෙතයි. පසුගිය වර්ෂයේ ලබා ගත් ආර්ථික ස්ථායිකරණය තුළ දිගු කාලීන සංවර්ධන ඉලක්ක හරහා මේ රට නැවත ගොඩනැගීමේ භාරධූර කාර්යයට අපි දැන් අවධානය යොමු කරලා තිබෙනවා. ඒ නිසා 2026 වර්ෂය ආරම්භයේ සිට ම මේ වර්ෂයට අදාළ සංවර්ධන කටයුතු, යෝජනා ලබා ගැනීම සහ ඒ හරහා ග්‍රාමීය ආර්ථික සංවර්ධනය කිරීමේ සැලසුම් වල අපි මේ දිනවල නියැලී සිටිනවා. මහජන නියෝජිතයින් ලෙස අපි මේ සියලු කටයුතුවලට නායකත්වය දෙමින්, අධීක්ෂණය කරමින් කටයුතු කරනවා.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වුණ බලපෑම් කළමනාකරණයට ආණ්ඩුව මේ වන විට ගෙන ඇති පියවර මොනවා ද ?, ඒ කටයුතු සාර්ථකව සිදුවෙනවා ද ?
මුලදී අපි විශ්වාස කළ සුළි කුණාටුව හේතුවෙන් සැලකිය යුතු ආර්ථික බලපෑමක් ඇති වෙයි කියලා. නමුත් අපට ඒ බලපෑම නිවැරදිව සහ විශිෂ්ඨ ලෙස කළමනාකරණය කර ගැනීමට හැකි වුණා. ආණ්ඩුවක් ලෙස ජනතාවට කඩිනම් සහන ලබාදීමට සහ ප්‍රතිසංස්කරණ කටයුතු වේගයෙන් සිදුකිරීමට අපට හැකියාව ලැබුණා. මම නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයට සුළි කුණාටුවෙන් බලපෑමක් නොවුණත් අපි මහනුවර දිස්ත්‍රික්කයේ සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතුවලට අපේ ශ්‍රම දායකත්වය ලබා දුන්නා. අපි අපට හැකි උපරිම ආකාරයට සහන, සුභසාධන සහ ප්‍රතිසංස්කරණ කටයුතු කළා. මෙම මූලික කටයුතුවලින් පසුව අපට තිබුණ ලොකුම අභියෝගය වුණේ ආරක්ෂිත කඳවුරු වල සිටින ජනතාව කොහොමද යළි පදිංචි කරවන්නේ, එසේ නොමැකි නම් ඔවුන්ට යළි තමන්ගේ නිවාස වලට යාමට පහසුකම් සලසන්නේ, හානියට පත් ව්‍යාපාර යළි ආරම්භ කිරීමට උපකාර කරන්නේ කෙසේ ද කියන කාරණායි. ඒ අනුව යළි තමන්ගේ නිවාස වෙත යන ජනතාවට ඒවා පිරිසිදු කර ගැනීමට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට රජය කටයුතු කළා. එහි 90%ක පමණ ප්‍රගතියක් අපි අත්පත් කර ගෙන තිබෙනවා. ඊට පස්සේ අපි රුපියල් 50,000ක දීමනාවක් ලබා දීමට පියවර ගත්තා. එහි අරමුණ වුණේ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් නිවාස වල විනාශයට පත් භාණ්ඩ වෙනුවට අලුතින් අදාළ භාණ්ඩ ලබා ගැනීමට සහයක් ලබා දීමයි. මෙහි ගෙවීම් කටයුතු වැඩි ප්‍රමාණයක් මේ වන විට අවසන්ව තිබෙනවා.
ඒ වගේම සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් සිදු වුණ දිස්ත්‍රික්කවල අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීම සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානයක් යොමු වුණා. මෙහි දී ඇතැම් ප්‍රදේශවල විශාල පිරිසකට ඉඩම සහ නිවස කියන දෙකම අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන් නැවත පදිංචි කරවීම සම්බන්ධව යළි සිතන්න වෙලා තිබෙනවා. එහි මූලාරම්භයක් ලෙස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් අනුරාධපුරයේ දී මුල්ගල් තැබීම සිදු වුණා. ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලුම ප්‍රදේශවල අවතැන් වූ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඉතා ඉක්මනින් මේ ජනතාව නව නිවාස වල පදිංචි කරවීමට බලාපොරාත්තු වෙනවා. ඒ වගේම සුළි කුණාටුවෙන් හානියට පත් ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්, ගොවීන් ඇතුළු සියලු පාර්ශ්ව වලට යළි සිය ආර්ථික කටයුතු සහ ව්‍යාපාර යථා තත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍ය සියලුම සහාය රජය විසින් සපයා දී තිබෙනවා.
ජාතික කාන්තා කොමිෂමේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ දී විශාල කතාබහක් ඇති වුණා නේද ? මේ වන විට එහි තත්ත්වය කොහොම ද ?
රාජ්‍ය බලය ලබා ගැනීමට පෙර සිටම අපි කාන්තාවන් වෙනුවෙන්, ඔවුන්ගේ ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් ඍජුව සහ අඛණ්ඩව පෙනී සිටියා. අපේ ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ. අපි අදත් ඒ අරමුණ, මතවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. අපි ආණ්ඩුවක් ලෙස, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ලෙස ජාතික කාන්තා කොමිෂමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. එහි ස්වාධීනත්වය අපි කිසිම ආකාරයකින් බලපෑමක් කරන්නේ නැහැ. ඒ වගේම කාන්තා කොමිෂම පවත්වා ගෙන යන පරිශ්‍රය කිසිම ආකාරයකින් කොමිෂමේ ස්වාධීනත්වයට බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් අපි අදත් විශ්වාස කරනවා ජාතික කාන්තා කොමිෂම මේ රටේ කාන්තාවන් වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ලෙස අපි මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා. කොමිෂමේ සභාපතිවරියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා විසින් තවම පිළිගෙන නැහැ. මම යළි අවධාරණය කරනවා, ජාතික කාන්තා කොමිෂම වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් සියලුම පහසුකම් අපි හැකි උපරිම ආකාරයෙන් ලබාදීමට පියවර ගන්නවා. ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රමාදයක් හෝ අඩුපාඩුවක් රජයක් ලෙස අපි කරන්නේ නැහැ. ඒ වගේම තමයි කොමිෂමට අවශ්‍ය මුදල් 2026 අයවැය ලේඛනයෙන් ලබා ගන්න නො හැකි නම් පරිපූරක ඇස්තමේන්තුවක් හරහා ඉදිරියේ දී ලබාදීමට පියවර ගන්නවා. ඒ වෙනුවෙන් කිසිම බාධාවක් අපට නැහැ. ඒ වගේම මම යළි අවධාරණය කරනවා ජාතික කාන්තා කොමිෂමේ ස්වාධීනත්වය වෙනුවෙන් අපි හැකි උපරිම ආකාරයෙන් පෙනී සිටිනවා.
ගෑස් හිඟයක් මේ වන විට රට තුළ තිබෙනවා. මේක කාන්තාවන් ඍජුව අපහසුතාවට, පීඩාවට පත්කරන කරුණක්. ඔබට මේ සම්බන්ධයෙන් යම් අදහසක් තිබෙනවා ද ?
මේ අර්බුදය, එසේ නොමැති නම් ගෑස් හිඟය නිර්මාණය වෙලා තිබෙන්නේ ගෑස් සැපයුම කරන සමාගම් දෙක අතර ගැටුමක් හේතුවෙන්, ගෑස් වෙළෙඳපොළ තුලනයට ඇති වුණ අනපේක්ෂිත බාධාවක් නිසා තමයි මේ අනපේක්ෂිත ගැටලුව නිර්මාණය වුණේ. නමුත් මේ වන විට විෂය භාර වසන්ත සමරසිංහ සහෝදරයා මේ ගැටලුව විසඳීමට අවශ්‍ය සියලු ම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගෑස් සැපයුම අඛණ්ඩව හා හිඟයකින් තොරව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය තොග මේ වන විට ලැබෙමින් තිබෙනවා. ලිට්‍රෝ ගෑස් සමාගමත් ඉතා ම කාර්යක්ෂම ලෙස මේ සැපයුම් අදාළ ස්ථාන වෙත යොමු කරමින් සිටිනවා. මේ තත්ත්වය තුළ ඉතාම ඉක්මනින් මේ තාවකාලික අර්බුදය අවසන් වෙනවා කියලා මම කියනවා. ඒ වගේම මට ජනතාවගෙන් ද විශේෂ ඉල්ලීමක් කිරීමට තිබෙනවා. භාණ්ඩ හිඟයක් ගැන කටකතාවක් හෝ බොරු ප්‍රවෘත්තියක් පළ වුණාම ඒ ගැන අනවශ්‍ය ලෙස අවධානය යොමු කරලා, අනවශ්‍ය භීතියක් ඇති කර නො ගන්නා ලෙස මම අපේ ගෘහණියන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා.
ඔබත් නීතිඥවරියක්, පසුගිය දා නීතිඥවරයෙක් මහමඟ, මහ දවාලේ ඝාතනය කළා. ඔහු සමඟ සිටි ඔහුගේ බිරිඳත් ඝාතනය කළා. මේ අවුරුද්දේ මේ කෙටි කාලය තුළ රට පුරා මිනිස් ඝාතන 10කට අධික ප්‍රමාණයක් සිදුවෙලා තිබෙනවා. විපක්ෂය කියන්නේ ‘ඝාතන රැල්ලක් – අපරාධ රැල්ලක්’ මේ වන විට රට තුළ තිබෙන බවයි. මේ ගැන ඔබගේ අදහස කුමක් ද ?
නීතිඥවරියක් ලෙස පමණක් නොවෙයි මේ සමාජයේ ජීවත් වන පුරවැසියෙක් ලෙසත් අපි කිසිම ආකාරයකින් මේ ඝාතන අනුමත කරන්නේ හෝ ඒවාට අනුබල දීමක් කරන්නේ නැහැ. රජයක් ලෙස මේ ඝාතන සංස්කෘතිය කොන්දේසි විරහිතව පිටු දැකිය යුතුයි කියන ස්ථාවරය පමණක් නොවෙයි ඒ වෙනුවෙන් පූර්ණ කැපවීමක් ද අපට තිබෙනවා. රජයක් ලෙස මේ ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට අපි මේ වන විටත් අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක් මේ වන අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධ පරීක්ෂණවලට, පොලිසිය ඇතුළු අදාළ අංශවලට, අධිකරණයට අපි කිසිම ආකාරයකින් මැදිහත්වීමක් කරන්නේ නැහැ. මේ ඝාතන සංස්කෘතිය පිටුපස තිබෙන, ඒවා පෝෂණය කරන සහ ආරක්ෂා කරන අඳුරු සෙවණැලි තවමත් ක්‍රියාත්මකව සිටිනවා. ඒ නිසා සාමාන්‍ය ජන ජීවිතයට මේ ඝාතන හරහා බලපෑමක් වෙනවා. මේ ඝාතන සංස්කෘතිය පෝෂණය කරන, පවත්වා ගෙන යන අඳුරු සමාජය තුළ බරපතළ කැළඹීමක් මේ වන විට සිදුවෙන බව පේනවා. ඒවා තමයි මේ ආකාරයෙන් එළියට එන්නේ. කොහොම වුණත් මේ ඝාතන හරහා සාමාන්‍ය ජන ජීවිතයට කිසිම ආකාරයක බාධාවක් නොවන ආකාරයට ආණ්ඩුවක් ලෙස අපි කටයුතු කරනවා. මහජන නියෝජිතයින් ලෙස අපි මේ කාර්යයන් වෙනුවෙන් ඍජුව සහ අවංකව කැප වෙනවා. රට තුළ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම සහ ශක්තිමත්ව එය තහවුරු කිරීම වෙනුවෙන් අපි කැප වෙනවා. ඒ වගේම යුක්තිය ඉටු කිරීමට අපි පූර්ණ සහාය දෙන අතර අපරාධකරුවන් ආරක්ෂා කිරීමට හෝ ඔවුන්ව නීතියෙන් සඟවා ගැනීමට අපි කිසිම ආකාරයකින් අවස්ථාවක් දෙන්නේ නැහැ. රට තුළ යුක්තිය සහ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කළ යුතු බව අපි අඛණ්ඩව අවධාරණය කරනවා.
විදුලි බිල නැවත වැඩි කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂමෙන් ඉල්ලා තිබෙනවා. මේක මාළිමාව විපක්ෂයේ සිටිය දී කළ ප්‍රකාශවලට සම්පූර්ණයෙන් විරුද්ධයි නේද ?
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂම සමඟ තමයි මේ සාකච්ඡාව තියෙන්නේ. මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ මහජන උපයෝගීතා කොමිෂම සහ ලංවිම අතර ඇති වන එකඟත්වය අනුව යි. මේ දෙපාර්ශ්වය අතර ඇති වන එකඟතාව අනුව අදාළ පියවර ගැනීම සිදුවෙවි කියලා මම හිතනවා. ඒ වගේම ගල් අඟුරු සම්බන්ධයෙන් මේ අවස්ථාවේ ඇති වෙලා තිබෙන සාකච්ඡාව ගැන මට පැහැදිලිව කියන්න තිබෙන්නේ ඉතාම විනිවිධ ආකාරයට මේ ක්‍රියාවලිය සිදුවෙලා තිබෙනවා. ඒ ගැන අපට කිසිම සැකයක් නැහැ. ඒ වගේම පුනරුද ආණ්ඩුව රාජ්‍ය අංශයේ වංචාව, දූෂණය පිටුදැක ඇති බව, ආණ්ඩුවට මහජන ප්‍රසාදය ඉහළින්ම තිබෙන බව පසුගිය දිනවල නිකුත් කළ ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති ජනමත සමීක්ෂණ හරහා තහවුරු වෙලා තිබෙනවා.
රතුඉර පුවත්පතේ 2026 මාර්තු 01 වැනි දා කලාපයේ ප්‍රකාශයට පත් වූ ලිපියකි
සංවාද සටහන – භාතිය බරුකන්ද















