ICC Men’s T20 World Cup: සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක නවසීලන්තය සමඟ තරඟය අද

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක නවසීලන්තය සමඟ තරගය අද (25) පස්වරු 7ට විදුලි ආලෝක ධාරා මැද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරග‍යෙන් ශ්‍රී ලංකාව ජය ගැනීම ඉතා වැදගත්වන අතර, තරගාවලියේ රැදී සිටීමට එය මහොපකාරී වේ.

මූලික වටයේ කණ්ඩායම් අදියරේදී දෙපාර්ශ්වයම එම කාණ්ඩවල 2 වන ස්ථානයට පත්ව සුපිරි අට වටයට පිවිසියහ. අනතුරුව නවසීලන්තය සහ පාකිස්තානය අතර සුපිරි 8 වටයේ පළමු තරගය ප්‍රේමදාස පිටියට ඇඳහැලුණු වර්ෂාව හේතුවෙන් අතහැර දමා දෙපිලටම ලකුණු එක බැගින් ප්‍රදානය විය. ශ්‍රී ලංකාව සුපිරි 8 වටයේ දී, එංගලන්තයට එරෙහිව ආරම්භක තරගය පරාජයට පත් වූ ‍හෙයින් තවමත් ප්‍රසාද ලකුණක් ලබා නැත.

මෙම තත්ත්වය මැද ඉදිරි තරග ‍දෙකම ජය ගැනී‍මේ වැදගත්කම  අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අවධාරණය කළේය. කණ්ඩායමේ ක්‍රීඩකයින් හොඳ මානසික මට්ටමක සිටින හෙයින් ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමකට එවැනි තත්ත්වයකට ළඟාවීමට අපහසු ‍නොවන බවද දුනිත් වෙල්ලාලගේ පැවැසීය.

 “නවසීලන්තය හා පාකිස්තානය සමඟ අපට ඉතිරිව ඇති තරග දෙකම වැදගත් බව අපි දන්නවා. ඒ තරග දෙක දිනන්නම වෙනවා. සියලු ක්‍රීඩකයින් හොඳ තරගයක් දීලා මුලින්ම නවසීලන්තය පරාජය කළ යුතුයි. හෙට තරගයෙන් අපි යළිත් නැඟිටන්න සැලසුම් කොට තියෙනවා. මොකද මේ තරගාවලියේ අ‍පේ කණ්ඩායම ගොඩක් හොඳින් කළා. එංගලන්තය සමඟ තරගයේදී මා ඇතුළු අ‍පේ ක්‍රීඩකයින් ගත්ත ඇතැම් තීරණ වැරදුනා. ක්‍රිකට් ක්‍රීඩාවේදී එහෙම දේවල් වෙන්න පුළුවන්. නමුත් අපි නැවැත නැඟී සිටිය යුතුයි“ වෙල්ලාලගේ පැවැසීය.

“මේ ලෝක කුසලානය අපට හරිම වැදගත් එකක්. ආර්. ප්‍රේමදාස පිටිය අපට නිතරම වාසි සහගත පිටියක්. තණතිල්ල මොකක් වුනත් අපි වගකීමක් ගෙන ක්‍රීඩා කළ යුතුයි. තණතිල්ල පිළිබඳ නායකයා හා පුහුණුකරු අධ්‍යයනය කරලා අපිට අවබෝධයක් ලබා දෙනවා. අපට පැවැරුණ වගකීම් තේරුම් ‍ගෙන කටයුතු කිරීම වැදගත්. රට වෙනුවෙන් සියයට දෙසීයක් දෙන්න සියලු දෙනාම සූදානම්“ වෙල්ලාලගේ සඳහන් කළේය.

විස්සයි20 ඉතිහාසයේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව 28 වතාවක් එකිනෙකා හමුවී ඇති අතර, තරග 16ක් නවසීලන්තයට හා තරග 11ක ජය ශ්‍රී ලංකාව සතුව තිබේ. තරග දෙකක් සුපිරි ඕවරය ක්‍රියාත්මකවී ජයග්‍රහණය තීරණය විය. වර්ෂාව හේතුවෙන් එක් තරගයක් සේදී ගියේය. විස්සයි20 ලෝක කුසලාන තරගවලදී 6 වතාවක් දෙපිල එකි‍නෙකා මුණ ගැසී නවසීලන්තය තරග දෙකකින් හා ශ්‍රී ලංකාව තරග 3කින් ජය ලබා තිබේ. එක් තරගයකදී සුපිරි ඕවරය ක්‍රියාත්මකවී නවසීලන්තයට ජය හිමි විය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මෙම තරගාවලියේ ඉනිම 5කදී හතරේ පහර 23ක් හා හයේ පහර 6ක් සමඟ ලකුණු 208ක් ලබා සිටින අතර, එංගලන්තයට පරාජය වූ තරගයේ පමණක් ඔහු පන්දු 8කදී ලකුණු 9ක් ලබා ගත්‍තේය. අ‍නෙක් සියලු ඉනිම්වලදී ඔහු ලකුණු අතර සිටියේය . කුසල් මෙන්ඩිස් ඉනිම 5කදී ලකුණු 186ක් සහ පවන් රත්නායක ඉනිම 5කදී ලකුණු 137ක් ලබා ඉදිරියෙන් සිටිති.

දසුන් ශානක මෙම තරගාවලියේ හතරේ 3ක් හා හයේ 6ක් මේ වනවිට එල්ල් කර ඇති අතර, ඔහු තරග 5කදී ඉනිම 4කදී ලකුණු 86ක් ලබා සිටී.

එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 146කට සීමා කළ තරගයේදී හා අ‍නෙකුත් තරගවලදී ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය වඩාත් කැපී පෙ‍ණෙන ලෙස ක්‍රීඩා කළ අතර, වේග පන්දු යැවූ මතීෂ පතිරණ වෙනුවට පැමිණි වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක මෙන්ම දුෂ්මන්ත චමීර කඩුලු දවා ගත්හ. දුනිත් වෙල්ලාලගේ හා මහීෂ් තීක්ෂණ එංගලන්තයට එරෙහිව දස්කම් දැක්වූ අතර, දසුන් ශානක හා කමිඳු මෙන්ඩිස් අවශ්‍ය අවස්ථාවලදී පන්දු යැවීමේ යෙඳුනහ. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් තරගාවලියේ හොඳින් පන්දු යැවීම කැපී පෙණුනි.

විනාශකාරී ආරම්භක පිතිකරුවන් බවට පත්ව සිටින නවසීලන්ත‍යේ ෆින් ඇලන් සහ ටිම් සයිෆර්ට් දෙදෙනා හයේ හා හතරේ පහර එල්ල කරමින් නවසීලන්තයට ශක්තියක් වූවේය. සයිෆර්ට් ඉනිම 4 කදී ලකුණු 173 ක් ලබාගෙන ඇත්තේ 167.96 ක ප්‍රහාරාත්මක අනුපාතයකින් වන අතර, ඇලන් 177.92 ප්‍රහාරාත්මක අනුපාතයකින් ලකුණු 137ක් ලබාගෙන ඇත.

ග්ලෙන් පිලිප්ස් ඉනිම 3කදී ලකුණු 119ක්, මාර්ක් චැප්මන් ඉනිම 2කදී ලකුණු 76ක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් වන රචින් රවීන්ද්‍රා තරග 5කදී ලකුණු 72ක් සහ ඩැරල් මිචෙල් තරග 5කදී ලකුණු 57ක් සිටිති. ලොකී ෆර්ගියුසන් සහ මැට් හෙන්රි කඩුලු 4 බැගින් ලබා ගනිමින් ඉහළම කඩුලු ලාභීන් ලෙස සිටිති.

ශ්‍රී ලංකාව: පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක (නායක), ජනිත් ලියනගේ, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුසංඛ, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, ප්‍රමෝද් මධුෂාන්, දුෂාන් හේමන්ත.

නවසීලන්තය: මිචෙල් සැන්ට්නර් (නායක), ෆින් ඇලන්, මයිකල් බ්‍රේස්වෙල්, මාර්ක් චැප්මන්, ඩෙවොන් කොන්වේ, ජේකොබ් ඩෆි, ලොකී ෆර්ගියුසන්, මැට් හෙන්රි, කයිල් ජේමිසන්, ඩැරල් මිචෙල්, ජේම්ස් නීෂම්, ග්ලෙන් පිලිප්ස්, රාචින් රවීන්ද්‍රා, ටිම් සයිෆර්ට්, ඉෂ් සෝධි

Source: srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website