සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ ආරාධනයෙන් ජනපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 01 වන දින මුල්ගල තැබීම සිදු කළ යාපනයේ මණ්ඩතිව් දූපතේ සුවිශේෂී තෙත් බිම් පද්ධතියක් විනාශ කර සකස් කිරීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ හා ක්‍රිඩා නගර ව්‍යාපෘතියේ ඉදි කිරීම් නීති විරෝධී ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට ආරම්භ කර තිබේ. පාරිසරික අනුමැතියකින් තොර ව අක්කර 138 ක තෙත් බිම් පද්ධතියක් ගොඩ කිරීම හා කම්බි වැටවල් යොදා තෙත් බිම වෙන් කිරීම මේ වන විටත් සිදු කර ඇත.
ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් මෙවන් දැවැන්ත නීති විරෝධී ක්‍රියාවක් සිදු කරද්දී මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යංශය නිහඬ ව සිටීම මෙරට නීතියේ ආධිපත්‍යය දරුණු ලෙස අභියෝගයට ලක් කිරීමකි. ඒ සඳහා විධායකයේ මඟ පෙන්වීමෙන් පෙනී යන්නේ අනාගතයේ මෙරට නීති පද්ධතිය දැවැන්ත පිරිහීමකට ලක් විය හැකි බව පමණක් නොව මෙරට ස්වාභාවික සම්පත් සියල්ල දරුණු අනතුරකට ලක් විය හැකි බව ය.
මෙම ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයට අමතර ව ගොල්ෆ ක්‍රිඩාංගනයක්, නිවාස හා හෝටල් සංකීර්ණයක් ඇතුළු ව දැවැන්ත ක්‍රිඩා නගරයක් ඉදි කිරීමට සැලැසුම් කර ඇත. ඒ සියල්ල සිදු වන විට තෙත් බිම් පද්ධතිය සම්පූර්ණයෙන් ම වැනසීම පමණක් නොව ඒ මත යාපනය කලපුවේ සුළු පන්න ධීවර කර්මාන්තය ද සම්පූර්ණයෙන් ම බිඳ වැටෙනු ඇත. එපමණක් නොව මෙම ක්‍රිඩා පිටි නඩත්තු කිරීම සඳහා අධික ජල ප්‍රමාණයක් වැය කිරීමට සිදු වේ. වර්තමානයේ යාපනයේ ජනතාව ජල අර්බුදයන්ට මුහුණ දී ඇති බැවින් ක්‍රිකට් හා ගොල්ෆ ක්‍රිඩා පිටි සඳහා වැඩි ජල ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වීම හේතුවෙන් යාපනයේ ජනතාව ගේ ජල අර්බුද උග්‍ර මට්ටමකට පත් විය හැකි ය. ඒ අනුව මෙම ව්‍යාපෘතියෙන් යාපනයේ ජනතාව ගේ ජල අයිතිය සම්පූර්ණයෙන් ම අහිමි වනු ඇත.

සංක්‍රමණික පක්ෂීන් දහස් ගණනක වාසස්ථාන වැනසීම
යාපනය දිස්ත්‍රික්කයේ වේලානෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මණ්ඩතිව් දූපත කඩොලාන, ලවණ වගුරු බිම් හා කිවුල්දිය වගුරුබිම් වලින් සමන්විත තෙත් බිම් පද්ධතියකි. මෙම තෙත් බිම් නේවාසික හා සංක්‍රමණික තෙත් බිම් ආශ්‍රිත පක්ෂි විශේෂවල විශාල ගහනයන් ගොදුරු බිම් ලෙස භාවිත කරයි.
මෙරටට සංක්‍රමණය වන දම් සිළුටු දෑ තුඩුවා (Glossy Ibis), පෙද කළු මහ වටුවා (Black tailed Godwit), බැම සුදු සේරුවා (Garganey), රන් තාරාවා (Eurasian Wigeon), උල් පෙද තාරාවා (Northern Pintail) හා පට්ටුදු තාරාවා (Northern Shoveler) වැනි පක්ෂීන් ගේ දහස් ගණනක් වන රංචු මෙම තෙත් බිමේ වාර්තා වේ.
යාපනය තෙත් බිම් පද්ධතිවල වෙරළාශ්‍රිත සංක්‍රමණික තෙත් බිම් පක්ෂීන් (Shorebirds) මිලියන 2 ක් පමණ වාර්තා වන බව ලංකා කුරුලු සංගමය මගින් 1983 වසරේ සිට මේ දක්වා සිදු කර ඇති අධ්‍යයන වාර්තා අනුව පෙනී යයි. ජාත්‍යන්තර තෙත්බිම් සංවිධානය (Wetland International) මගින් 2009 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද Status of Waterbirds in Asia, Results of the Asian Waterbirds Census, 1987-2007 1987-2007 වාර්තාවට අනුව මෙරට වැඩි ම තෙත්බිම් පක්ෂීන් ප්‍රමාණයක් වාර්තා වන ප්‍රදේශ අතුරින් ප්‍රධාන ස්ථානයක් ලෙස යාපනය තෙත් බිම් පද්ධති හඳුනා ගෙන තිබේ.
එපමණක් නොව උතුරු සයිබීරියාවේ සිට මිලියන ගණනක් ශීත සෘතු සංක්‍රමණික පක්ෂීන් මධ්‍යම ආසියානු පක්ෂි සංක්‍රමණික මාර්ගය (Central Asian Flyway) ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඒ අතුරෙන් විශාල පක්ෂි ගහනයක් මෙරටට ඇතුළු වන්නේ යාපනය හා මන්නාරම දූපත් ඔස්සේ ය. එම ප්‍රදේශ අඛණ්ඩ පියාසැරියක යෙදෙන මෙම සංක්‍රමණික පක්ෂීන් ගේ පළමු නවාතැන්පොල වේ. මෙවන් වූ සුවිශේෂී තෙත් බිම් පද්ධතියක් විනාශ කිරීමෙන් මෙම සංක්‍රමණික පක්ෂීන් ගේ ගොදුරු බිම් හායනයට ලක් වීම හේතුවෙන් වසර මිලියන ගණනක් උත්තරාධ්‍ර ගෝලයේ සිට දක්ෂිණාධ්‍ර ගෝලය දක්වා ශීත සෘතු ව මඟ හැරීම සඳහා සංක්‍රමණය වූ මෙම පක්ෂීන්ට ඉතා කෙටි කාල සීමාවක් තුළ නිජබිම් අහිමි කිරීම සිදු වේ. මෙවන් දැවැන්ත විනාශකාරී සැලැසුමක් සකස් කර ක්‍රියාත්මක කළ වගකීමෙන් ජනාධිපතිවරයාට, ක්‍රිඩා අමාත්‍යවරයාට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් විය නොහැකි ය.

ධීවර කර්මාන්තය අවතැන් කිරීම
සංක්‍රමණික පක්ෂීන්ට බලපෑම් ඇති වීම පමණක් නොව මෙම තෙත් බිම් පද්ධති යාපනයේ කලපු ආශ්‍රිත මත්ස්‍යයන් හා ඉස්සන් මෙන් ම කකුළුවන් බෝවීම සිදු වන ප්‍රදේශ වන බැවින් සුළු පන්න ධීවර කර්මාන්තයේ නිරත ධීවර ජනතාව ගේ ජන දිවිය හා ආර්ථිකය රැදී ඇත්තේ ද මේ තෙත් බිම් මත ය.
මේ නිසා මෙම තෙත් බිම් පද්ධතිය යාපනය කලපුව අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජිත ව ඇත. එම යෝජනාව සකස් කර ඇත්තේ 2014 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන හා පරිසර වැඩසටහන්වල මූල්‍යමය ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක් ව සකස් කළ උතුරු පළාත සඳහා ඒකාබද්ධ උපායමාර්ගික පරිසර තක්සේරු වාර්තාවට (Integrated Strategic Environmental Assessment the Northern Province of Sri Lanka) අනුව ය. නමුත් මෙම සුවිශේෂී අභය භූමිය ප්‍රකාශයට පත් නොකිරීමට හේතු ව දැනට වසර ගණනාවකට පෙර සිට මෙම තෙත් බිම් පද්ධතිය විනාශ කිරීමට පිඹුරුපත් සකසා තිබීම විය හැකි ය. මේ සියල්ල පිළිබඳ ව අවබෝධයක් සහිත පක්ෂයක් ආණ්ඩු බලය ලබා ගන්නා තෙක් ජනතාව බලා සිටියේ මෙම ස්වාභාවික සම්පත් හා ඒ මත බැදී ඇති ජන දිවියේ සුරක්ෂිතතාව ඇති කර ගැනීම සඳහා ය. නමුත් එසේ විශ්වාස කර ජනතාව සතු පරමාධිපත්‍ය බලයට අයත් විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය වත්මන් ආණ්ඩුවට ලබා දුන්නේ මෙවන් විනාශයක් ඇති නොකරන රටක් නිර්මාණය කිරීමට ය. නමුත් ඔවුන් සිදු කරන්නේ ද පෙර ආණ්ඩු මෙන් ම ජනතාව ගේ බලය අවභාවිත කිරීමක් නම් ජනතාව ගේ අභිලාශයන් වත්මන් ආණ්ඩුව ද අහිමි කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිසර නීති හෑල්ලුවට ලක් කිරීම
මෙම ක්‍රිකට් ක්‍රිඩාංගනය හා ක්‍රිඩා නගරය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය මත පදනම් ව අනුමැතිය ලබා ගෙන සිදු කළ යුතු ය. එම වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 4 ක ට වැඩි නැතහොත් අක්කර 10 ක ට වැඩි තෙත් බිමක් ගොඩකර සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නීති විරෝධී ව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය.
මීට අමතර ව 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥාපනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි තෙත් බිමක් ගොඩ කිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය.
මෙම කිසිදු අනුමැතියකින් තොර ව බලහත්කාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයා ගේ හා ක්‍රීඩා අමාත්‍යවරයා ගේ බලපෑම මත බව පෙනෙන්නට තිබේ. මෙය ඉදිරි සංවර්ධන කටයුතුවල දී ද සිදු විය හැකි වැරදි පූර්වාදර්ශ ලබා දීමකි. ඒ සඳහා විධායකයේ සහය ලැබීම පිළිබඳ ව අප කණගාටු වන්නේ නීතියේ ආධිපත්‍යය සුරකින රටක් නිර්මාණය කරන බවට ජනතාවට සහතික වූ අනුර කුමාර දිසානායක ජනපතිවරයා ගේ නියෝග මත මෙය සිදු වන නිසා ය. මේ නිසා රටේ අනාගත ඉරණම පිළිබඳ ව අපට විශ්වාසයක් ඇති කර ගත නොහැක.

ජාත්‍යන්තර සම්මුති උල්ලංඝනය කිරීම
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන යටතේ බටහිර ජර්මනියේ බොන් නුවර දී 1979 ජුනි 23 වන දින සම්මත කර ගත් 1983 නොවැම්බර් 01 දින සිට බලාත්මක වූ සංක්‍රමණික සත්ත්ව විශේෂ ආරක්ෂා කිරීමේ බොන් සම්මුතිය (Convention on the conservation of migratory species of wild animals – BONN) ශ්‍රී ලංකාව විසින් අපරානුමත කෙරුනේ 1990 ජුනි 06 වන දින ය. දේශසීමා අතර සංක්‍රමණය වන සත්ත්ව විශේෂවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සම්මුතිය ඇති කර ගෙන තිබේ. සංක්‍රමණික විශේෂ සහ ඔවුන් ගේ වාසස්ථාන සංරක්ෂණය සඳහා පියවර ගැනීම, සංක්‍රමණික විශේෂ වඳවීමේ තර්ජනයට ලක් වීම වැළැක්වීමට පියවර ගැනීම, සංක්‍රමණික විශේෂවලට අදාළ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම හා ඒ සඳහා සහයෝගය ලබා දීම සඳහා මෙම සම්මුතිය ගොඩනගා ඇත. මෙම සම්මුතිය අපරානුමත කළ රටක් ලෙස සංක්‍රමණික පක්ෂි විශේෂවල රැකවරණය හා එම සතුන් ගේ වාසස්ථාන විනාශ කිරීමට අපට අයිතියක් නැත.
එපමණක් නොව ඉරානයේ රැම්සාර් නුවර දී 1971 පෙබරවාරි 02 වන දින සම්මත කර ගැනුනු තෙත් බිම් හා තෙත් බිම් පක්ෂීන් ගේ වාසස්ථාන ආරක්ෂා කිරීමේ රැම්සාර් සම්මුතිය (Convention on wetlands of international importance especially as waterfowl habitats – RAMSAR) 1990 ජුනි 15 වන දින අපරානුමත කළ රටක් ලෙස ද අප රට තෙත් බිම් හා තෙත් බිම් පක්ෂීන් ගේ වාසස්ථාන ආරක්ෂා කිරීමට බැදී සිටී. මෙම සම්මුතියට අනුව ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ව පිළිගත් රැම්සාර් තෙත් බිම් හයක් ප්‍රකාශයට පත් කර තිබේ. එනම් මාදු ගඟ අභය භූමිය, බුන්දල ජාතික වනෝද්‍යානය, ආනවිලුන්දාව අභය භූමිය, වාන්කාලේ අභය භූමිය, විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ කුමන ජාතික වනෝද්‍යානය ඇතුළු ව කුඩුම්බිගල පානම අභය භූමියයි. මීට අමතර ව කොළඹ නගරය ජාත්‍යන්තර තෙත් බිම් නගරයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ. එපමණක් නොව සෑම වසරක ම පෙබරවාරි 02 දා ලෝක තෙත් බිම් දිනය සමරනු ලබන රටක් ලෙස හා මේ වසරේ පරිසර අමාත්‍යවරයා ගේ මූලිකත්වයෙන් උත්කර්ශවත් ව තෙත් බිම් දිනය සැමරූ රටක් ලෙස ඒ සඳහා ජනතාවට මඟ පෙන් වූ ආණ්ඩුවට තෙත් බිම් විනාශ කිරීමට කිසිදු අයිතියක් නොමැත. මේ සියල්ලෙන් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව ජනතාවට පෙන්වීමට උත්සාහ කරන ප්‍රතිරූපයට වඩා ඔවුන් ගේ සැබෑ ක්‍රියාකාරීත්වය විනාශකාරී බව ය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පෙන්වා ජනතාව මුලා කිරීම
වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට ප්‍රථම ජනතා ව සමඟ සම්මුතිගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක් කොටසෙහි මූලධර්ම ලෙස දක්වා ඇත්තේ පාරිසරික යුක්තිය හා සාධාරණත්වය, පරිසර පද්ධති ප්‍රවේශය, පාරිසරික යහපාලනය හා පාරිසරික ආරක්ෂාව යන සංකල්පයන් ය. ඒ අනුව සංවේ දී පාරිසරික කලාප ප්‍රකාශයට පත් කර සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙන් ම මෙරට ඇති තෙත් බිම් හඳුනාගෙන, ලේඛණ ගත කොට ඒවා සුරක්ෂිත කිරීමට අවශ්‍යය පියවර ගන්නා බව ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇත.
මීට අමතර ව කිසිදු දේශපාලන පක්ෂයක් සිදු නොකළ වත්මන් ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගය පක්ෂය පමණක් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාවට ඉදිරිපත් කර ජනතාව සමඟ සම්මුති ගත වූ “මිහිකත පරිසර ප්‍රතිපත්තියේ” පාරිසරික ව දැඩි සංවේදී කලාප නිශ්චිත ව තහවුරු කිරීම සිදු කරන බවට ජනතාවට පොරොන්දු ලබා දී තිබේ. එසේ තිබිය දී පසුගිය ආණ්ඩු කිසිවක් සිදු නොකළ ලෙස පාරිසරික අණ පනත් හෑල්ලුවට ලක් කිරීම වත්මන් ආණ්ඩුවෙන් සිදු කිරීමෙන් පෙනී යන්නේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් ජනතාව ඉතා ම හොදින් මුලා කර ඇති බව ය.
මේ නිසා අප අවධාරණය කරන්නේ උතුරේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයක් ඉදි නොකළ යුතු ය යන කරුණ නොවේ. උතුරු – නැගෙනහිර පළාත්වල ජනතාවට සංවර්ධනය වීමේ අයිතිය සුරක්ෂිත කළ යුතු අතර සමාන ලෙස සැලකීම සිදු කළ යුතු ය. ඒ සඳහා පිවිසීමේ දී නීතියේ ආධිපත්‍යය හා නීතියේ සමානාත්මතාව අහිමි නොකළ යුතු බව අවධාරණය කරමු. එපමණක් නොව ජනතාව ගේ අදහස් මත ඔවුන් අපේක්ෂා කරන සංවර්ධනය ඇති කළ යුතු ය. එසේ නොමැති ව ජනතාවගෙන් ව්‍යුක්ත වූ, ජනතාව හා සොබාදහම අවතැන් කරන සංවර්ධනයක් ඇති නොකළ යුතු ය. එවන් වැරදි සංවර්ධනයේ අහිතකර ප්‍රතිඵල මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වසර ගණනාවක සිට බුක්ති විදිමින් සිටිති. එම පූර්වාදර්ශ මඟහැර යාපනයේ ද එවැනි ම වූ හානි කර සංවර්ධනයක් සැලැසුම් කිරීම වත්මන් ආණ්ඩුව යටතේ බලාපොරොත්තු නොවූ තත්ත්වයකි.
යාපනය ජනතාව ගේ ජන දිවිය හා ආර්ථිකය රැදී පවතින ස්වාභාවික සම්පත් වන කලපුව, කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම් හා කිවුල්දිය තෙත් බිම් ඇතුළු ව මිරිදිය ජල පද්ධති සංවර්ධනයේ නාමයෙන් ජනතාවට අහිමි නොකළ යුතු ය. බලය ලබා ගැනීමට ප්‍රථම මේ බව අවබෝධ කර ගෙන සිටි ජාතික ජන බලවේගය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයට මේ සියල්ලු කරුණු ඇතුළත් කරනු ලැබූවේ මේ නිසා ය. නමුත් බලය ලබා ගත් පසුව ඒ සියල්ල ජනතාවගෙන් ව්‍යුක්ත වූ වාණිජ අරමුණු මත පමණක් ක්‍රියාවේ යොදවන ස්වභාවයක් පෙනෙන්නට තිබේ.
එම නිසා අප යොජනා කරන්නේ උතුරු – නැගෙනහිර ප්‍රදේශවල ක්‍රිඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජනතාවට භාවිත කළ හැකි ක්‍රිඩාංගන හා ක්‍රිඩා පහසුකම් ලබා දීම අඛණ්ඩව සිදු කළ යුතු බව ය. එපමණක් නොව එය ජාත්‍යන්තර ක්‍රිඩා වේ මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර තලයේ ක්‍රිඩාංගන ස්ථාපිත කිරීමේ දී ශක්‍යතා ඇගයීම් මත පදනම් ව, පරිසරයට හා ජන දිවියට බලපෑම් ඇති නොවන සුදුසු ස්ථාන තෝරා ගෙන නිවැරදි පාරිසරික අනුමැතීන් මත ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි ක්‍රියාත්මක කළ යුතු ය. පසුගිය ආණ්ඩුවල වැරදි සැලැසුම් මත පරිසරය, ආර්ථිකය හා ජන දිවිය බිඳ වැටී ඇති ආකාරය අත්විදින අප වත්මන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූයේ ක්‍රමවත්, යථාර්ථවාදී මෙන් ම ජනතාවාදී සංවර්ධන ක්‍රියාවලියක් බව අවසන් වශයෙන් අවධාරණය කරමු.













