‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන පාලනයක් අපි ඇති කර තිබෙනවා – ජනපති

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයට මාතෘභූමිය, ජාතිය සහ දරුවන් ගොදුරු වීම වැළැක්වීම තම ඒකායන අරමුණ බවත්, කිසිදු අපරාධකරුවෙකුට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් අද ගොඩනඟා තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ සංවිධානය කළ දකුණු පළාත් වැඩසටහනට තංගල්ල මහජන ක්‍රීඩාංගනයේදි අද (20) පස්වරුවේ එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය, “අපි මේ ව්‍යාපාරය ආරම්භ කර තිබෙන්නේ විෂ මත්ද්‍රව්‍ය උවදුර අවසන් කිරීමේ තිර අදිටනකින් යුතුවයි. එයින් තොරව මේ රටට සංවර්ධනය, සාමය, සෞභාග්‍ය උදා වන්නේ නෑ. මේ උවදුර විසින් ගම් බිම් විනාශ කර, පවුල් සංස්ථාව විනාශ කරමින් තිබෙනවා. මේ උවදුර නිසා දෙමව්පියන් තමන්ගේ දරුවා සමාජයේ කිසිදු කාර්යයක් සමඟ මුහු කිරීමට බිය වී තිබෙනවා.

මේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන්නන් සහ එයට සම්බන්ධ වූවන් පොලිස් නිලධාරීන් පවා බියට පත් කරමින් තමන්ගේ ජාවාරම් කරගෙන යන තැනටම උවදුර උඩුදුවා තිබෙනවා. මටත් පරණ පුරුදු පාරේ යමින් ඔන්න ඔහේ ඕන දෙයක් කියලා මේ විනාශය නොදැක්කා සේ ඉන්න පුළුවන්. නමුත් අපි තෝරා ගත්තේ මේ ව්‍යසනයෙන් අපේ රටත් ජනතාවත් මුදා ගැනීමේ මාවතයි. මේ ව්‍යසනය පරාජයට පත් කිරීමේ මාවතයි. ඒක අද අපේ ඒකායන අරමුණ සහ අධිෂ්ඨානය බවට පත්වී තිබෙනවා. ඒක ඔබ අපි සියලු දෙනාගේ වගකීම නොවේද?

අපරාධකරුවන්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බලය නිර්මාණය කෙරුණේ දේශපාලකයන්ගේ ආශිර්වාදයෙන්. ජුලම්පිටියේ හිටපු නිකම්ම නිකං තරුණයෙකුට ඒ බලය ආරෝපණය කළේ දේශපාලකයන් විසිනුයි. සමහර අවස්ථාවල ජනාධිපති ආරක්ෂක අංශවලට පාතාල නායකයින් සම්බන්ධ කරගත්තා. සමහර පක්ෂවල කෘත්‍යාධිකාරි මණ්ඩලවලට, සමහර කුමාරවරුන්ගේ ආරක්ෂාවට පාතාල සාමාජිකයන් සම්බන්ධ කරගත්තා. අපි සහතික වෙනවා කිසිදු පාතාල නායකයෙකුට, අපරාධකරුවෙකුට හෝ කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට දේශපාලන රැකවරණය අපේ පාලනයක් යටතේ ලබා දෙන්නේ නැති බවට. අපට ලැබුණ ජනවරමේ තිබෙන්නේ ඒ විශ්වාසයයි.

අපි සියලු දෙනා ඉලක්ක සහගතව එක අරමුණක ගමන් කරද්දී සමහරු වෙන වෙන මාතෘකා සාකච්ඡාවට ගනිමින් මේ දිශාව,සමාජ අවධානය වෙනස් කිරීමට උත්සාහ කරනවා. අපි ඒ බොරු වලවල් වල වැටෙන්නේ නෑ. අපි පොලිස් නිලධාරී මහත්වරුන්ට හා ආරක්ෂක අංශවල නිලධාරීන්ටත් කියනවා ඔබ ඔබේ නිල ඇඳුමේ ගෞරවය රැකගන්නා ලෙස.

මේ ව්‍යසනය පරාජයට පත් කිරීමේදී අපේ ගමත් සමාජයත් සමඟ සමීපව බැඳී සිටින පන්සලේ හාමුදුරුවන් වහන්සේලා, පල්ලියේ පූජකතුමන්ලා, කුරුක්කල් තුමන්ලා ඇතුළු ආගමික නායකයින්ට විශාල වගකීමක් තිබෙනවා” ජනාධිපතිවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website