SL v ENG 2025/26: තෙවැනි තරගයත් එංගලන්තය ජය ගනියි

සෑම් කරන්ගේ අර්ධ ශතකයත් ජෙකබ් බෙතල්ගේ විස්සයි-20 තරග දිවියේ හොඳම පන්දු යැවීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (03 දා) රාත්‍රියේ පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ද ලකුණු 12 ක ජයක් වාර්තා කළ එංගලන්ත ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත්වූහ.

දුෂ්මන්ත චමීර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් එංගලන්ත කණ්ඩායම ලකුණු 129 කට නවතාලීමට සමත් වුවත්, එය හඹා යෑමේදී ශ්‍රී ලංකා පිලට පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 116 ක් පමණි.

කමිල් මිශාර තුන් වැනි පන්දුවේදීම දැවී ගියද පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ පවන් රත්නායක එකතුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 62 ක් දක්වා ඉහළ දමන ලද්දේ 9 වැනි පන්දුවාරය අවසන් වන විටය. එහෙත් කුසල් මෙන්ඩිස්ගේ දැවී යෑමත් සමග ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 8 ම ලකුණු 54 කදී බිඳ වැටිණි. කුසල් මෙන්ඩිස් සහ පවන් රත්නායක දෙදෙනාම  පන්දු දෙකක් තුළදී දැවී යෑමත් 17 වැනි පන්දුවාරය යැවූ 21 හැවිරිදි ජෙකබ් බෙතල් කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වීමත් මෙතරම් අඩු ඉලක්කයක් හඹා යෑමට නොහැකිවීමේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්වූහ. පන්දුවාර 3.3 ක් යැවූ වමත් දඟ පන්දු යවන බෙතල් ලකුණු 11 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් දවා ගනු ලැබුවේ සත්කාරක වාසීන් කිසිවක් සත්කාරකයින්ට ලබා නොදෙමිනි.

ලකුණු 24 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගනිමින් විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගැනීමට දුෂ්මන්ත චමීර සමත්වීම නිසා එංගලන්ත කණ්ඩායමට කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි.

පළමු පන්දුවම වයිඩ් පන්දුවක් ලෙසින් චමීර පන්දු යැවීම ආරම්භ කළත් ඊළඟ පන්දුවේදීම බෙන් ඩකට්ගේ කඩුල්ල දවා ගත් චමීර තරග ආරම්භයේදීම කණ්ඩායමට විශ්වාසයක් එක් කර දීමට සමත්වූවේය. එම සාර්ථක ආරම්භයත් සමග පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 60 ක් ඇතුළත එංගලන්ත කණ්ඩායමේ පළමු පිතිකරුවන් පස් දෙනාම නරඹන්නන් බවට පත් කිරීමට සමත්වූහ.

එංගලන්ත පිලේ 6 වැනි කඩුල්ල දැවී යන විට ඔවුන්ගේ ඉනිමේ අඩකට වඩා යවා තිබුණේ පන්දු 3 ක් පමණි. කෙසේ වෙතත් 7 වැනි කඩුල්ලට එක් වුණු සෑම් කරන් සහ ලියම් ඩෝසන් එක්ව එංගලන්ත ඉනිම ලකුණු 100 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට අවශ්‍ය අඩිතාලම එක් කළේ එම කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 41 කදී ලකුණු 47 ක් බවට පත් කරමිනි.

පිට පිටම තෙවැනි වතාවටත් එකම තණතීරුව යොදා ගත් හෙයින් පිට පිටම තෙවැනි වතාවටත් කාසියේ වාසිය තමන් සතු කර ගත් එංගලන්ත නායක හැරී බෘෘක් කිසිදු පැකිළීමකින් තොරව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. එහෙත් ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ එංගලන්ත නායකයා සිතු තරම් වාසි ලබා ගැනීමට නොහැකි විය.

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ආබාධයකට ලක්වීම නිසා දුෂ්මන්ත චමීරට එංගලන්තයට එරෙහිව පැවැති එකම තරගයක් හෝ ක්‍රීඩා කිරීමට නොහැකි විය. එහෙත් අද තරගයේදී නියමිත රිද්මය පවත්වාගත් දකුණත් වේග පන්දු යවන්නා තම පන්දුවාර 4 අවසන් කරන ලද්දේ කඩුලු 5 ක් දවා ගනිමිනි. මෙය ඔහුගේ විස්සයි-20 තරග දිවියේ කඩුලු 5 ක් දවා ගත් පළමු අවස්ථාව විය. එමෙන්ම එය ශ්‍රී ලංකා විස්සයි-20 වාර්තා පොතේ සටහන් වූයේ එවැනි දස්කමක් කළ 7 වැනි අවස්ථාව ලෙසිනි.

එංගලන්ත ඉනිමේ 9 වැනි පිතිකරුවා ලෙසින් සෑම් කරන් දැවී යන විට ඔහු පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 58 ක් රැස් කරගෙන සිටියේය. ඔහුගේ මෙම ඉනිම නොවන්නට එංගලන්ත ඉනිම නියමිත පන්දුවාර 20 අවසන් වීමට මත්තෙන් දැවී යනවා නොඅනුමානය. කෙසේ වෙතත් ඉනිමේ අවසන් පිතිකරුවන් සමග එක්වූ සෑම් කරන් අවසන් පන්දුවාර 4 දී ලකුණු 32 ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 129 ක ඉලක්කයක් ලබා දීමට එංගලන්තයට හැකියාව ලැබිණ.

එංගලන්තය පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 129 යි – (සෑම් කරන් 58, හැරී බෘෘක් 04, ටොම් බැන්ටන් 07, ජෙකොබ් බෙතල් 03, බෙන් ඩකට් 00, ජොස් බට්ලර් 25, විල් ජැක්ස් 03, ලියම් ඩෝසන් 14, ජෙමී ඕවර්ටන් 02, අදිල් රශීඩ් 07*, ලුක් වුඩ් 02*, දුෂ්මන්ත චමීර 24/5, මතීෂ පතිරණ 27/2, දුනිත් වෙල්ලාලගේ 28/1, මහීෂ් තීක්ෂණ 16/1)

ශ්‍රී ලංංකාව පන්දුවාර – (පැතුම් නිස්සංක 23, කමිල් මිශාර 00, කුසල් මෙන්ඩිස් 26, පවන් රත්නායක 13, කමිදු මෙන්ඩිස් 14, ජනිත් ලියනගේ 17, දසුන් ශානක 04, දුනිත් වෙල්ලාලගේ 09, දුෂ්මන්ත චමීර 00, මහීෂ් තීක්ෂණ 02, මතීෂ පතිරණ 02*, ජෙකොබ් බෙතල් 11/4, විල් ජැක් 14/3, අදිල් රශීඩ් 25/1, ලියම් ඩෝසන් 25/1, ලුක් වුඩ් 13/1)

Source: srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website