6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: සජබ අල්ලස් කොමිෂමට

හයවන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම පිළිබඳව සමගි ජන බලවේගය සාකච්ඡා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න කවිරත්න ‘රතුඉර’ සම ප්‍රකාශ කළාය.

ඇය කියා සිටියේ, අධ්‍යාපනඥයින්, දෙමාපියන් හෝ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා නොකර හොර රහසේ සිදු කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හරහා මහජන මුදල් නාස්ති වී ඇති බවයි. මුද්‍රණය, බෙදා හැරීම සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා වැය කරන ලද මුදල් සම්පූර්ණයෙන්ම බදු ගෙවන්නන්ගෙන් ලැබුණු බව කී ඇය මෙම ක්‍රියාවට නායකත්වය දුන් සියලු දෙනා මෙම බදු  මුදල්වලට වගකිව යුතු බව අවධාරණය කළාය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ රෝහිණී කවිරත්න මහත්මිය, “රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. නමුත්, මේවා රහසිගතව කළ නොහැකයි. ඒවා මහජනතාවට විවෘත විය යුතු අතර, මහජන මතය සැලකිල්ලට ගත යුතුයි. සමගි ජන බලවේගය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සහාය දීමට සූදානම් බව අගමැතිනි සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට පෞද්ගලිකව දැනුම් දුන්නා. කෙසේ වෙතත්, ඔවුන් අපට එම ක්‍රියාවලියට සම්බන්ධ වීමට ඉඩ දුන්නේ නැහැ. දේශපාලනය තුළ සහ ඉන් පිටත එවැනි විශේෂඥයින් බොහෝ දෙනෙක් සිටියත්, ගුරුවරුන්, ශාස්ත්‍රඥයින් සහ අනෙකුත් අධ්‍යාපන වෘත්තිකයන් ද නිසි ලෙස සම්බන්ධ වී සිටියේ නැහැ”

අධ්‍යාපන අමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට වගකීමෙන් ඈත් විය නොහැකි බව ද ඇය පැවසුවාය. “මේ දේවල් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව සිදු වූ බව ඔවුන්ට පැවසිය නොහැකියි. ඔවුන් එසේ පවසන්නේ නම්, අමාත්‍යවරයෙකු සහ ලේකම්වරයෙකු සිටීමෙන් පලක් නැහැ. මෙම පාඩු අයකර ගැනීමට නීතිමය පියවර ගත යුතුයි.” ඇය අවධාරණය කළාය.

එම ක්‍රියාවලියේදී සිදු වූ මූල්‍ය පාඩුවට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා  සමගි ජන බලවේගය අල්ලස් කොමිසමට පැමිණිල්ලක් යොමු කිරීමට සැලසුම් කර ඇති බවත්, අනෙකුත් කණ්ඩායම් ද එසේ කිරීමට සූදානම් වන බවත් ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website