ජනපති, අගමැති සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවේ දී සාකච්ඡා කළේ මොනවාද ?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කරන්න – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

රජය ක්‍රියාත්මක කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ එහි අවශ්‍යතාව පිළිගන්නා බවත්, 06 ශ්‍රේණියේ විෂය නිර්දේශය නව සංශෝධනයකට ලක්විය යුතු බවත් මෙහිදී පෙන්වා දුන් ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද ප්‍රකාශ කළහ.

ජාතික අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය,  අධ්‍යාපනඥයන්, නීතිඥයන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත විධිමත් යාන්ත්‍රණයක අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කිරීමටද ඔවුන් මෙහිදී යෝජනා කළහ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  සාර්ථක කර ගැනීමට නම් ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය බවත්, සැකයක් හෝ අවිශ්වාසයක් සහිතව පරිවර්තනයක් සිදු කළ නොහැකි බවත් පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී රජය සමඟ එක්ව කටයුතු කරන ලෙස ද ගුරු වෘත්තීය සමිති නියෝජිතයන්ට ආරාධනා කළේය.

රජය ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී ගුරු වෘත්තීය සංගම් නියෝජිතයන් දැනුවත් කළ ජනාධිපතිවරයා  පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන නමුත්, මොඩියුල සකස් කිරීමේදී පවතින ගැටලු, ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය සහ තාක්ෂණික ගැටලු මඟ හරවා ගනිමින්  06 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ  ආරම්භ කිරීම 2027 වසරේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය. ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ස්මාර්ට් පුවරු, රූපවාහිනි සහ පරිගණක වැනි යටිතල පහසුකම් දෙමාපියන්ගේ මුදලින් නොව රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහි දී පැවසීය.

අන්තර් පළාත් ගුරු මාරුවීම්, උසස්වීම්, වැටුප් විෂමතා සහ විදුහල්පති සේවාවේ ගැටලු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website