යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව පුළුල් සාකච්ඡාවක් අවශ්‍යයි – ආංශික අධීක්ෂණ කාරක සභාව

යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා සකස් කර ඇති කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර අදාළ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්විය යුතු බව පසුගියදා රැස්වූ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.
එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය ජනවාරී 07 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අවධාරණය කෙරිණි.
ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ සාමාජිකයින් පැවසුවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය ය සඳහා කෙටුම්පතක් සකස් කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් මහජනතාවගේ සහ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්ය. පිරිවැය-ඵලදායී මිල ගණන් යටතේ කාර්යක්ෂම විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා මෙම ප්‍රතිපත්ති සකස් කර ඇති බව ද ඔවුහු සඳහන් කළහ.
මෙම ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතු පුළුල් සාකච්ඡාවලින් අනතුරුව සිදු කළ යුතු බව ප්‍රකාශ කළ කාරක සභා සභාපතිවරයා, පෞද්ගලික අංශය ඇතුළු විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්වයන්ගේ අදහස් සලකා බැලීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත ඇතුළුව යෝජිත ගාස්තු ප්‍රතිපත්තිය මෙම කාරක සභා රැස්වීමේදී විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී. බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශේෂඥයින් මේ පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කළහ.
මෙම කාරක සභා රැස්වීමට කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, මංජුල සුරවීර ආරච්චි, චතුර ගලප්පත්ති, රවීන්ද්‍ර බණ්ඩාර, ධනුෂ්ක රංගනාත්, අසිත නිරෝෂණ එගොඩ විතාන, ජගත් විතාන, ශාන්ත පද්ම කුමාර සුබසිංහ, නීතිඥ ගීතා හේරත්, යන මහත්ම මහත්මීහු ද කාරක සභා සභාපතිවරයාගේ අනුමතිය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද සහභාගී වූහ.











