මහා සංඝරත්නයට නින්දිත හා පහත් ආකාරයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත අමාත්‍යවරයා සම්බන්ධයෙන් රජය නිසි පියවරක් නොගන්නේ නම් එහි අනිටු විපාක වලට නුදුරේදීම මුහුණ දීමට සිදුවනු ඇති බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියෝ පවසති.
අද (12) මහනුවර මඩවල ජනමංගලාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ජාතික සංඝ සම්මේලයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියෝ මේ බව සඳහන් කළහ.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ශාසනරතන හිමියෝ මෙසේ ද පැවසූහ, “දේශපාලනඥයින් සහ මහා සංඝ රත්නය අතර විවිධ මත ගැටුම් ඇති වුණත් මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහස කර නැහැ. රට කාබාසීනියා කරන කූඨ උපක්‍රම හා න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වෙනවා නම් ඒව අභියෝගකරන්න අයිතිය අපිට අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා ඉතිහාසය පුරාම මහා සංඝරත්නය ඒ වෙනුවෙන් කතා කළා. අපි දැක්කා ලාල්කාන්ත මහතා කැලේ සත්තුවගේ එළියට ඇවිල්ලා වනචාරී පහත් තුච්ච ප්‍රකාශයක් කළා. අපි ඒ ඇමතිවරයාට කියන්න ඕනේ කරුණාකරලා ඔබගේ මේ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න ඕනේ. අපි ජනාධිපතිතුමාට කියනවා, ජනාධිපතිතුමෙනි මෙයා ඉක්මනින්ම බැඳලා දැම්මේ නැති වුණොත් මේ රට මීට වැඩිය අනතුරකට පත්වෙනවා, ඒක වළක්වාගන්න කිසිකෙනෙක්ට බැහැ. ඔබතුමාලා මේ සංස්කෘතිය වෙනස් නොකළොත් මේ රටේ ජනතාව ඉතා ඉක්මනට ප්‍රතිචාර දක්වයි කියලා අපි ඔබතුමාට මතක් කරනවා”.















