මහින්ද කළ සිල්ලර දේශපාලනේ අනුරත් ලස්සනට කරනවා – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න

ජනතා විමුක්ති පෙරමුණ ස්ථානගත වුණේ මම ඉහතින් දක්වන ලද සටන් පාඨ අසාර්ථක වීම, අවලංගු වීම හමුවේ කළකිරීමට පත් ජනතාව අතරයි. ඔවුන් 2024 දී මේ ආකාරයෙන් කළකිරීමට පත් සියලු කොටස් එකතු කර ගත්තා. කළකිරීමට පත් සියලු ප්‍රජාවන්ට ආමන්ත්‍රණය කිරීමට ජවිපෙට, මාලිමාවට හැකියාව ලැබුණා. නායකත්වයක් නොමැතිව මංමුලව සිටි මේ ප්‍රජාවට නායකත්වය දෙන්න මාළිමාවට හැකියාව ලැබුණා. වැදගත්ම දේ තමයි ජවිපෙ ‘පවතින ක්‍රමයට විරුද්ධව’ කතා කළා පමණයි. ඔවුන් කිසිම අවස්ථාවක විසඳුම් ඉදිරිපත් කළේ නැහැ. අන්න ඒ නිසයි මම මුලින්ම කිව්වේ අද තියෙන්නේ දේශපාලන ‘විකෘතියක්’ කියලා.

වත්මන් දේශපාලන ප්‍රවණතා සහ අපගමනයක් පිළිබ ඔබගේ නිරීක්ෂණ ගැන පැහැදිලි කරමින් ම සාකච්ඡාව ආරම්භ කරමු නේද ?, ඔබට මේ මොහොතේ ලංකාවේ දේශපාලන කරළිය, විශේෂයෙන් ආණ්ඩුව සම්බන්ධයෙන් තිබෙන නිරීක්ෂණය කුමක් ද ?

ලංකාවේ දේශපාලනය පසුගිය කාලයේ යථාර්ථය සහ විකෘතිය අතර දෝලනය වුණා. මෙහිදී දේශපාලන විකෘතිය තමයි ජනතාව අතර ජනප්‍රිය වෙන්නේ. වැදගත්ම දේ තමයි මේක අද ඊයේ ආරම්භ වුණ දෙයක් නොවීම, මේක ආරම්භ වුණේ 1956 දී.  1956 දී බණ්ඩාරනායකගේ පැමිණීමම දේශපාලන විකෘතියක්. ඒකට හේතුව තමයි රටක දේශපාලනයේ මූලිඛම, ප්‍රමුඛම අරමුණ වෙන්නේ ආර්ථික දියුණුව සහ සංවර්ධනය. ආර්ථිකය දියුණු නොකර, රට සංවර්ධනය නොකර අනෙක් කිසිම අංශයක දියුණුවක් ලබා ගන්න බැහැ. රටක් දියුණු වෙන කොට, ආර්ථිකය සංවර්ධනය කරන කොට ඒ රටේ  දරිද්‍රතාවය, සමාජ අසහනය, අල්ලස, දූෂණය, මර්ධනය ආදිය සියල්ල අඩු වෙනවා. මේක සමාජවාදී දේශපාලනය තුළ පවා පිළිගන්නා කරුණක්. නමුත් අපි ඒ මාර්ගයේ ගමන් කළේ නැහැ.

ඔබේ මේ තර්කය තව දුරටත් පැහැදිලි කළ හැකි ද ?

1956 දී අපි සටන් කළේ ආර්ථික සංවර්නය වෙනුවෙන් නෙමෙයිනේ, අපි සටන් කළේ සමාජ ප්‍රශ්නයක්, ඒ කියන්නේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කර ගැනීම වෙනුවෙන්. ඒත් ඒ සටන් පාඨය වලංගු වුණා ද ?, නැහැ. අවුරුදු 40කට පස්සේ, බණ්ඩාරනායක මහත්තයගේ දියණියම, චන්ද්‍රිකා ඇවිල්ලා සිංහල සහ දෙමළ ජන භාෂා දෙකම රාජ්‍ය භාෂා කළා. ඒ කියන්නේ 1956 දී බණ්ඩාරනායක බලයට ගෙනා සටන් පාඨයම  අභාවයට ගියා. ඒ වගේම 1947 සිටම එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ඉදිරිපත් වුණ ප්‍රධාන චෝදනාව තමයි ‘ජාතිය’ කියන එක. නමුත් ඒකට මේ වන විට කිසිම වලංගුභාවයක්  නැහැ. ජාතිවාදය, ආගම්වාදය මත දේශපාලන බලය තීන්දු කිරීමේ හැකියාවක් අද නැහැ. ඊට පස්සේ ‘ජාතික ආරක්ෂාව’ කියලා ගෝඨාභය රාජපක්ෂ කරළියට ගේනවා. ඒකේ පදනම වුණේ මුස්ලීම් විරෝධය, නමුත් මේ වන විට ඒකටත් පදනමක් නැහැ.

ඔබේ තර්කය තුළ ජනතා විමුක්ති පෙරමුණ, මාළිමාව ස්ථානගත වෙන්නේ කොතැන ද ?

ජනතා විමුක්ති පෙරමුණ ස්ථානගත වුණේ මම ඉහතින් දක්වන ලද සටන් පාඨ අසාර්ථක වීම, අවලංගු වීම හමුවේ කළකිරීමට පත් ජනතාව අතරයි. ඔවුන් 2024 දී මේ ආකාරයෙන් කළකිරීමට පත් සියලු කොටස් එකතු කර ගත්තා. කළකිරීමට පත් සියලු ප්‍රජාවන්ට ආමන්ත්‍රණය කිරීමට ජවිපෙට, මාලිමාවට හැකියාව ලැබුණා. නායකත්වයක් නොමැතිව මංමුලව සිටි මේ ප්‍රජාවට නායකත්වය දෙන්න මාළිමාවට හැකියාව ලැබුණා. වැදගත්ම දේ තමයි ජවිපෙ ‘පවතින ක්‍රමයට විරුද්ධව’ කතා කළා පමණයි. ඔවුන් කිසිම අවස්ථාවක විසඳුම් ඉදිරිපත් කළේ නැහැ. අන්න ඒ නිසයි මම මුලින්ම කිව්වේ අද තියෙන්නේ දේශපාලන ‘විකෘතියක්’ කියලා.

ඔබ කියන ආකාරයට එක්සත් ජාතික පක්ෂය දේශපාලන යථාර්ථය වුණේ කොහොමද ?

එක්සත් ජාතික පක්ෂය 1947 දී පක්ෂය ආරම්භ කළ දා සිට කතා කළේ ආර්ථික දියුණුව සහ සංවර්ධනය ගැන පමණයි. නමුත් එජාප විරෝධී කඳවුරට, මුල් කාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වාමාංශික පක්ෂ නායකත්වය දුන් කඳවුරට ආර්ථිකය හෝ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් කිසිම ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඔවුන් කළේ ඒ ඒ අවස්ථාවන්ට අදාළ ජනප්‍රිය සමාජ ප්‍රශ්නයක් අල්ලා ගෙන ජනතාව අතරට යාම පමණයි. මේ දේශපාලන විකෘතියේ උපරිම අවස්ථාවට අපි ‌‌මේ වන විට පැමිණ තිබෙනවා. මම නැවත අවධාරණය කරනවා මාළිමාවේ ජයග්‍රහණය තමයි මේ දේශපාලන විකෘතියේ කූඨප්‍රාප්තිය, උච්චතම අවස්ථාව.

ඔබ කියන එජාපය නායකත්වය දෙන යථාර්ථවාදී දේශපාලනය කුමක් ද ?

මේ රට දියුණු කරන්න පුළුවන් දේශපාලන පළපුරුද්ද තිබෙන, ඒ පළපුරුද්ද තුළින් ලබා ගන්නා බුද්ධිමත්භාවයක් සහිත දේශපාලනඥයින්ට පමණයි. රටට අවශ්‍ය පළපුරුද්දක් තිබෙන බුද්ධිමත් දේශපාලනඥයින් මිස ජනප්‍රිය හෝ දේශපාලන කථිකයින් නොවෙයි. ජනප්‍රිය හෝ දේශපාලන කථිකත්වය පමණක් තිබෙන දේශපාලනඥයින්ට රටක් දියුණු කරන්න බැහැ. ඒකට හොඳම උදාහරණය තමයි, ලී ක්වාන් යූ, මහතීර් මොාහොමඩ් වැනි මෑත කාලීන ආර්ථික ආශ්චර්යයන් පෑ නායකයින්. මේ සියලු දෙනාම ‘වැඩකාරයෝ’ මිසක් ජනප්‍රිය දේශපාලන චරිත හෝ ජනප්‍රිය දේශපාලන කථිකයෝ නෙමෙයි. රටවල් හදපු කිසිම නායකයෙක් ජනතාව අතර ජනප්‍රිය චරිත වුණේ නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂය මේ කිසිම නායකයෙක් මුහුණ නොදුන් අභියෝග, ගැටලු සහ බාධකවලට මුහුණ දුන්නා. අපේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ නිතර නිතර ආණ්ඩු මාරු සිදුවීම නිසා ඔවුන්ට අපේක්ෂිත ඉලක්කය කරා යාමට නොහැකි වුණා.

ඔබ දකින ආකාරය අනුව ජනතාවට මේ දේශපාලන විකෘතිය ගැන අවබෝධයක් තිබෙනවා ද ?

ඔව්, මේ වන විට ජනතාව මේ දේශපාලන විකෘතිය හඳුනා ගෙන තිබෙනවා. අවාසනාවට ජනතාව මේ දේශපාලන විකෘතිය හඳුනා ගත්තේ ඔවුන්ට මාළිමාව හොඳ කණේ පාරක් දුන්නට පස්සේ. පළමු වරට ජනතාව මේ ජනප්‍රියවාදී දේශපාලනයට එරෙහිව කතා කරනවා. ඉදිරියේ දී මොන තරම් පිරිසක් මේ පාරට එයිද කියලා මට හිතා ගන්න ගන්න බැහැ. මේ ජනප්‍රියවාදී දේශපාලනය ප්‍රතිෂේප කරන ජනතාවගේ ප්‍රමාණය සහ ඔවුන්ගේ ශක්තිය මත තමයි ඉදිරියේ දී රටේ දේශපාලන ගමන් මග තීරණය වෙන්නේ.

වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය ඔබ දකින්නේ කොහොමද ?

අපි ඉතිහාසයේ දැවැන්තම, බිහිසුණුම දේශපාලන හා අර්ථික අර්බුදය කරා ගමන් කරමින් සිටිනවා. නැවත වරක් රට බංකලොත් වීමේ අවධානමක් අප හමුවේ තිබෙනවා. 2027 දී විදේශ ණය නැවත ගෙවීම ආරම්භ කළ යුතුයි. මේ ආකාරයට ආර්ථිකය ගියොත් අපිට ඒක කරන්න බැරි වෙනවා. එහෙම වු‌ණොත් රට නැවත දුර්භාග්‍යමත් තත්ත්වයකට පත් වෙනවා.

ඔබ ප්‍රබල තර්කයක් ලෙස ‘දේශපාලන විකෘතිය’ ගැන යෝජනාවක් ගේනවා. ඔබගේ අත්දැකීම් අනුව මේ දේශපාලන විකෘතිය නිර්මාණය කිරීමට දායකත්වය දුන්නේ ජනතාවගෙන් කුමන මතවාදයක් නියෝජනය කරන කණ්ඩායම ද ?

රටක ජනතාව කියන කොට බහුතර නියෝජනය කරන ජනගහන පිරිමිඩයේ පහළම ස්ථරය, එසේ නැතිනම් නිර්ධන පංතිය ද ඇතුළුව ‘පීඩිත පංතිය’ කියලා කියන ජන කොටස තමයි මේ දේශපාලන විකෘතිය නිර්මාණයට වැඩිම දායකත්වයක් දුන්නේ. අපේ රටේ නායකයෝ මේ පීඩිත පංතියට තමයි වැඩියෙන්ම කතා කරන්නේ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා, මේ පංතිය අධ්‍යාපන මට්ටම අතින් පහළ, බුද්ධිය මුහුකුරා නොගිය පිරිසක්, ඔවුන් අනෙක් පංතිය දෙස වෛරී ආකල්පයක් දරනවා, ඉහළ පංතිය ගැන ඊෂ්‍යාවෙන් සහ ක්‍රෝධයෙන් ඉන්නේ. ජනප්‍රියවාදී දේශපාලනඥයෝ මේ පීඩිත පංතිය තුළ තිබෙන වෛරය, ක්‍රෝධය අවුස්සනවා. මේ පංතිය ආණ්ඩු පෙරළන්නේ ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධන ගැන හිතලා නෙමෙයි, පංති වෛරය, ක්‍රෝධය මුල් කර ගෙනයි. අපි හැමදාම ආණ්ඩු පෙරළුවේ තියෙන ආණ්ඩුවේ වැරදි කියලා මිසක්, වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා නෙමෙයි. ඒ කියන්නේ නිතරම සිද්ධ වුණේ අනෙක් පංතියට පහර ගැසීමක්. මේක ඉතාම ජනප්‍රියයයි. මේ හරහා සමාජයේ යටිතලය තෘප්තිමත් වෙනවා.

නමුත් බොහෝ විට දේශපාලනයේ දී ‘මධ්‍යම පංතිය’ තීරණාත්මකයි කියලා නේද කියන්නේ ?

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය තුළ ආණ්ඩු පත් වෙන්නේ බහුතර ඡන්දයෙන්. අපේ රටේ බහුතර ඡන්ද පදනමක් නියෝජනය කරන්නේ මේ කියන නිර්ධන පංතිය, එසේ නොමැති නම් පීඩිත පංතිය. උගතුන්, වෘත්තිකයින් ඇතුළු ‘දියුණු යැයි කියන මිනිසුන්’ නියෝජනය කරන මධ්‍යම පංතිය අපේ වගේ නොදියුණු රටවල්වල කල්පනා කරන ආකාරය, මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ටිකක් වෙනස්. අපේ මධ්‍යම පංතියත් බොහෝ විට කරන්නේ නිර්ධන පංතියට අවශ්‍ය බුද්ධිය සැපයීම පමණයි. ඒ කියන්නේ අපේ මධ්‍ය පංතිය තුළ ‘බුද්ධිමතුන්’ නැහැ, ඉන්නේ උගතුන් පමණයි. ඔවුන්ට අධ්‍යාපන සහතික තිබෙනවා, අධ්‍යාපන සුදුසුකම් තිබෙනවා, කඩදාසි සහතියක් තිබෙනවා. නමුත් මේ කඩදාසි සහතිකේ බුද්ධිමය සාධකයක් නෙමෙයි. ඔවුන් සතුව විශ්ලේෂණාත්මක බුද්ධියක් නැහැ. මෙන්න මේ නිසා ඔවුන් මේ සමාජයේ ‘කසකරුවන්’ බවට පත්වෙනවා. ඔවුන් තමයි මේ විකෘති දේශපාලන මතවාදය ඉදිරියට ගෙන යන්නේ, ඒක හසුරුවන්නේ. මේ මතවාදය විකුණන ජනප්‍රියවාදී දේශපාලනඥයින් පීඩිත පංතියේ ජනතාවගේ බහුතර ඡන්දයෙන් රාජ්‍ය බලය අල්ල ගන්නවා. මේක තමයි අපේ දේශපාලනය තුළ සිදු වුණේ, 2024 දී සිදු වුණේ.

‘බයියා’ කියන්නේ ලංකාවේ දේශපාලන ශබ්ද කෝෂයට මෑතකදී එක් වුණ වචනයක්. ඇතැමුන් කියනවා වත්මන් මාළිමාව ආණ්ඩුව හැදුවේ මේ බයියෝ කියලා. ඔබට මේ ගැන අදහසක් තිබෙනවා ද ?

දේශපාලනිකව ‘බයියෝ’කියන්නේ 2015 යහපාලන ආණ්ඩුව සමයේ මහින්ද රාජපක්ෂ කඳවුර, පොහොට්ටුව නියෝජනය කළ ජනතාවනේ. ජනතා විමුක්ති පෙරමුණට 1982 ජනාධිපතිවරණයේ සිටම තිබුණේ 3%ක ඡන්ද ප්‍රතිශතයක්. ඒක කවදාවත් වෙනස් වුණේ නැහැ. ඒ 3%ක පසුගිය ජනාධිපතිවරණයේ දී 42%ක් දක්වා වර්ධනය කළේ මේ බයියෝ. 2024 ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ ඡන්ද පදනම බින්දුවටම බැස්සනේ. පොහොට්ටුවේ සියලුම ඡන්ද ගලාගෙන ගියේ මාළිමාවට. මහින්ද රාජපක්ෂව, රාජපක්ෂ පවුල දේවත්වයෙන් සලකපු බයි ඡන්දදායකයෝ නාමල් රාජපක්ෂයට ඡන්දය දුන්නේ නැහැ. පොහොට්ටුවේ මන්ත්‍රීවරු පත් කළේ නැහැ.

ඔබ දකින ආකාරයට බයි ජනතාව මේ ආකාරයෙන් කටයුතු කළේ ඇයි ?

ගෝඨාභය, බැසිල් සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළ පෝලිම්වලින් මේ ජනතාව පීඩාවට පත් වුණා, සති ගණන් තෙල් පෝලිම්, ගෑස් පෝලිම්වල දුක් විඳින්න ඔවුන්ට සිද්ධ වුණා, රසායනික පොහොර තහනම නිසා ගොවියෝ නැත්තටම නැති වුණා. පෝලිම් වල මිනිස්සු මැරුණා, රස්සා නැති වුණා, බංකලොත් වුණා. මේ නිසා ජනතාව මහින්ද රාජපක්ෂ පවුල ගැන දැඩි කළකිරීමකට පත් වුණා, පස්සේ ඒක වෛරයක් බවට පත් වුණා. මාළිමාව මේ වෛරයට තව තවත් තෙල් දැම්මා. මේ නිසා  රාජපක්ෂලාට ඡන්දය දුන්න ජනතාව තව දුරටත් ‘බයියෝ’ කියලා නින්දාවට ලක්වෙන්න කැමැති වුණේ නැහැ. ඔවුන්ට ඒ  ලේබලය ගලවා ගන්න අවශ්‍ය වුණා. ඒ නිසා ‘වෙනසක්’ අපේක්ෂා කරන ප්‍රගතිශීලී ජනතාවක් බවට පත් වෙමින් ඔවුන් මාළිමාව ළඟට ආවා.

බයියෝ මාළිමාවෝ කළ මේ පරිවර්තනයට අරගලයත් හේතු වුණාද ?

ඔව්, මේකට අරගලය හොඳ උත්තේජනයක් වගේම වේදිකාවක් වුණා. ජනතා විමුක්ති පෙරමුණ, මාළිමාව මුලින් අරගලයේ හිටියේ නැහැ. ඔවුන් අරගලයට විරුද්ධවයි කටයුතු කළේ. නමුත් අරගලය සාර්ථකව ඉදිරියට ගමන් කරන කොට මාළිමාව ඒකේ අයිතිකාරයෝ බවට පත් වුණා. රාජපක්ෂ ආණ්ඩුව ඉතාම නිර්ධය ලෙස, මෝඩ ලෙස ගොල්ෆේස් එකට පහර දෙන විට අරගලකරුවෝ අසරණ වුණ. මිනිස් බලයෙන් තොර අගලකරුවන්ට අවශ්‍යම කළ මිනිස් බලය ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගේ බෙදී ගිය සඟයා වන පෙරටුගාමී එක. එදා සිට මාළිමාව, ජවිපෙ අරගලයේ අරමුණ, මතවාදය සහ ඉලක්කය අතට ගත්තා. ඒක 2024 ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් උපරිමයෙන් පාවිච්චි කළා. 2024 දී මාළිමාවට ඡන්දය දුන්න බයියෝ තමයි දැන් නැවත කළකිරිලා ඉන්නේ, මාළිමාව විවේචනය කරමින් එළියට එමින් සිටින්නේ.  මේ වන විට මේ බයි ජනතාව පෙර සිටි කඳවුරටම ගමන් කරමින් සිටිනවා.

ඔබ ගොඩනගන මේ තර්කය අනුව අපේ රටේ ජනතාවගෙන් බහුතර වාමාංශිකයෝ, වමට බර ජනතාවක් කියලා හිතෙනවා. මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන් ද ?

එක්සත් ජාතික පක්ෂය පුළුල්ම ඡන්ද පදනමක් සහිත පක්ෂය ලෙස තිබුණත් මේ රටේ මිනිස්සු හිතන්නේ නම් ‘වාමාංශිකව’යි. එක්සත් ජාතික පාක්ෂිකයා හිතන්නෙත් වාමාංශිකයෙක් විදිහටයි. සතුරාට පහර දීම, සංවර්ධන ආර්ථිකයට වඩා එහා ගිය සුබසාධනවාදී හෝ ජනප්‍රියවාදී වැඩපිළිවෙළකට තමයි ඔවුන් වැඩියෙන්ම කැමැති. එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ මං වගේ වාමාංශික පසුබිමක් තියෙන දේශපාලනඥයෙකුට ආකර්ෂණයක් තිබුණේ ඔවුන් වාමාංශිකව කල්පනා කරන නිසයි. කොළ කමිස ඇන්දත්, නිල් කමිස ඇන්දත්, රතු කමිස අන්දත් ඔවුන්ට තියෙන්නේ එකම අදහසක්, ඔවුන් ඉන්නේ එකම චින්තන ක්‍රියාවලියක, ඔවුන් අතර ඉතාම සුළු වෙනස්කම් තමයි තියෙන්නේ. මේ සටන්කාමී මානසිකත්වය නිසා ජනතා විමුක්ති පෙරමුණ වාගේ කණ්ඩායමකට ඔවුන්ව ඉතාම පහසුවෙන් හසුරුවා ගන්න පුළුවන්.

ආසන්න ආණ්ඩු ගත්තොත් යහපාලන ආණ්ඩුවට පාස්කු ප්‍රහාරයත්, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට කොවිඩ් 19 වසංගතයත් මාරාන්තික වුණා. වත්මන් ආණ්ඩුවට දිට්වා සුළි කුණාටුව අභියෝගාත්මක වෙලා තිබෙනවා. ලංකාවේ ආණ්ඩුවල ඔරොත්තු දීමේ හැකියාවක් නැති බව මේ අවස්ථාවලදී පේනවා. ඔබ මේ තත්ත්වයට හේතු ලෙස දකින්නේ කුමක්ද ?

ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහනේ. ඔහු කොහොමද අපි මුහුණ දුන්න දැවැන්තම ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නේ ? ඍණ 14.2ක තිබුණ ආර්ථිකයක් 5.4%ක ආර්ථිකයක් කරා ගෙන ගියේ කොහොම ද?, ඩොලර් මිලියන 20ක තිබුණ විදේශ සංචිත ඩොලර් මිලියන 6200ක් දක්වා ගේන්නේ කොහොමද ? 72%ක තිබුණ උද්ධමනය  -0.5කට ගේන්නේ කොහොමද ?. ඒකට හේතුව ඉතාම පැහැදිලියි. රනිල් වික්‍රමසිංහ පුහුණු වෙලා තියෙන්නෙම ආර්ථික සංවර්ධනය කිරීම වෙනුවෙන්. මේ නිසා තමයි ආචාර්ය ඩොනල්ඩ් ලූ ඇමෙරිකානු කොන්ග්‍රසයට කියන්නේ ‘මේක ආර්ථික විශ්වකර්මයක්’ කියලා. ඔහු මේ කියන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහහ ඉතාම කෙටි කාලයක් තුළ ආර්ථිකය යළි ස්ථාවර කර ආර්ථික අර්බුදයෙන් ගොඩඒම ගැනයි. මේ වාගේ විශ්වකර්ම වැඩ කරන්න පුළුවන් දකුණේ නායකයෙකුටම පමණයි. විරෝධයපෑම මත, ජනප්‍රිය දේශපාලන ප්‍රවණතා මත දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගත් වාමාංශික දේශපාලනඥයෙකුට මේක කරන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂට මේ අර්බුදයට මුහුණ දීමට නොහැකි වුණේ මේ නිසයි. ඔවුන්ට එවැනි දැක්මක් සහ ශක්තියක් නැහැ. ආර්ථිකමය වේවා, දේශපාලනමය වේවා මේ සියලුම අභියෝගවලට ඔරොත්තු දෙන එකම දේශපාලන පක්ෂය තමයි එක්සත් ජාතික පකෂය. 1980 ලෝක ආර්ථික අර්බුදයට එජාපය සාර්ථකව මුහුණ දුන්නා, 2001 දී ඍණ අගයක් තිබුණ ආර්ථිකය අගමැති රනිල් වික්‍රමසිංහ යළි ඉහළට ගත්තා.

ඔබගේ තර්කය අනුව 2001 දී ඍණ ආර්ථිකය ධන කළේ රනිල් වික්‍රමසිංහ, 2022 දී ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත්තේත් රනිල් වික්‍රමසිංහ. ඒත් මේ අවස්ථා දෙකේ දීම ඔහු පරාජයට පත් වුණා නේද ?

ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ජයග්‍රහණවල වටිනාකම දකින්න තමයි මානසිකත්වයක් අපේ බහුතරයක් ඡන්දදායකයින්ට නැහැ. මේ සෑම අවස්ථාවකම ජාත්‍යන්තර ප්‍රජාව, බුද්ධිමතුන් මේක අගය කළා, පිළිගත්තා. නමුත් අපේ බහුතරයක් ජනතාවගෙන් ඒ පිළිගැනීම හෝ ප්‍රශංසාව ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි ඔවුන් නායකයෙක් ලෙස බලාපොරොත්තු වෙන්නේ ජනප්‍රිය, අතවනන, මූණ ඉඹින, නංගියේ මල්ලියේ කියන, ළමයින් වඩා ගන්න නායකයෙක්. කවදාවත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් නොකළ දේවල් අද අනුර කුමාර කරන්නේ මේ ජනතා විඥානයට ආමන්ත්‍රණය කළ යුතු නිසයි. මේ ජනතාව තෘප්තිමත් කළ යුතු නිසයි. මේක තමයි මහින්ද රාජපක්ෂ කළ දේශපාලනය. අද මහින්ද ගිය පාරේ අනුර යනවා.

මේ වෙනසට හේතුව කුමක්ද ?

තමන්ගේ ව්‍යාපාරය බංකලොත් වෙන කොට, මතවාද පරාජයට පත් වෙන කොට මෙන්න මේ වගේ සිල්ලර වැඩ තමයි කරන්න වෙන්නේ. මේ සිල්ලර වැඩවලින් තමයි රට ගොඩ ගන්න යන්නේ. මේ අර්බුදවෙන් ගොඩ එන්න පුළුවන් ශක්තිමත් දැක්මත් ඇති ප්‍රායෝගික වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. ඒ නිසා අද අනුර මහින්ද රාජපක්ෂ කළ සිල්ලර දේශපාලනය කරනවා. මේකට තව දුරටත් පෑවත්මක් හෝ වටිනාකමක් නැහැ.

සටහන – භාතිය බරුකන්ද –  රතුඉර පුවත්පතේ 2026 ජනවාරී 11 කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website