එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
වත්මන් ලෝකයේ, අධිවේගී මාර්ගයකට අයත් දිගම උමං මග චීනයේ ෂින්ජියෑන් උයිගුර් ස්වයං පාලන කලාපයේ Xinjiang Uygur Autonomous Region දී දෙසැම්බර් මස 26 සිකුරාදා නිල වශයෙන් ගමනාගමනය සඳහා විවෘත කරන ලදී. එය උරුම්කි-යුලි අධිවේගී මාර්ගය Urumqi-Yuli Expressway ලෙස හඳුන්වයි.
වයඹදිග චීනයේ සහ යුරේසියානු මහාද්වීපයේ අභ්‍යන්තරයේ පිහිටා ඇති ෂින්ජියෑන් උයිගර් ස්වයංපාලන කලාපය ඊසාන දෙසින් මොන්ගෝලියාව, උතුරු දෙසින් රුසියාව, වයඹ දෙසින් කසක්ස්තානය, කිර්ගිස්තානය සහ ටජිකිස්තානය, බටහිර දෙසින් ඇෆ්ගනිස්තානය සහ නිරිත දෙසින් පකිස්තානය සහ ඉන්දියාව වශයෙන් රටවල් අටකට මායිම් වූවකි. එය ලෝකයේ සෙසු රටවල් සමඟ චීනය සම්බන්ධ කළ සුප්‍රසිද්ධ ඉපැරණි සේද මාවත වැටී තිබුණ විවිධ සංස්කෘතීන් සම්මිශ්‍රණය වූ පළාතකි.
වර්ග කිලෝමීටර මිලියන 1.6649 ක විශාල ප්‍රදේශයක් ආවරණය කරන එම කලාපය ස්වයං පාලන දිස්ත්‍රික්ක 14 කින් සමන්විත පරිපාලන ව්‍යුහයකට හිමිකම් කියයි. 2022 වසර අවසානය වන විට, එම කලාපයේ මුළු ස්ථිර ජනගහනය මිලියන 25.87 ක් වූ අතර 2023 දී, කලාපීය දළ දේශීය නිෂ්පාදිතය යුවාන් බිලියන 1,912.591 ක් විය. එය, පෙර වසරට සාපේක්ෂව 6.8% ක වැඩිවීමක් බව පැවසිණි. එමෙන්ම, ෂින්ජියැන්ග් උයිගර් අතිවිශාල බලශක්ති සහ ඛනිජ සම්පත්වලින් සමන්විත ප්‍රදේශයකි. එහි ඇස්තමේන්තුගත ඛනිජ තෙල් සංචිතය ටොන් බිලියන 23 කි. කාන්තාර සහ කඳුකර පෙදෙස්වලින් සමන්විත, තුර්කි උයිගුර් ප්‍රජාව ඇතුළු වාර්ගික සුළුතර කණ්ඩායම් බොහෝ ගණනකට නිවහන වූ මෙම කලාපය චීනය සහ මැද පෙරදිග සම්බන්ධ කරන පුරාණ සේද මාවතට උරුමය කියාපායි.
කිලෝමීටර් 2500 ක් දිග ටියැන්ෂාන් කඳුවැටිය, මධ්‍යම ෂින්ජියෑන් හරහා විහිදී යන අතර වංගු සහිත මීටර් 4000 ට වැඩි උන්නතාංශ ඔස්සේ කඳුකර මාර්ගය ඔස්සේ උතුරේ විශාලතම නගරය වන උරුම්කි Urumqi සිට දකුණේ විශාලතම නගරය වන කෝර්ලා Korla දක්වා යාමට පැය 7කට වඩා වැඩි කාලයක් ගතකළ යුතුවේ. එමෙන්ම, ශීත ඍතුවේ මෙම මාර්ග වසා දැමීමට හෝ දිගු හැරවුම් මාර්ග ඔස්සේ ගමනාගමන පහසුව සලසා ගැනීමට මගී ප්‍රජාව යොමු කෙරුණි. එහෙත් නව අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමඟ මෙම බාධක බැහැරවී තිබේ. ඒ අනුව පැය 3 කාලයක් තුළ දී කිලෝමීටර් 324.7 ක දුර ප්‍රමාණයක් ගෙවා මෙම ප්‍රධාන නගර දෙක අතර ගමනාගමන කටයුතු නිමාකර ගැනීමට චීන රජය එරට ජනතාවට දැන් අවස්ථාව උදාකර දී ඇත.
නව අධිවේගී මාර්ගයේ දැකගතහැකි ටියෑන්ෂාන් ෂෙන්ග්ලි උමග Tianshan Shengli Tunnel දිගින් කිලෝමීටර් 22.13 ක් වේ. ඒ අනුව එය මෙතෙක් ලොව ඉදිකර ඇති අධිවේගී මාර්ගයක පිහිටි දිගම උමං මාර්ගය බවට හිමිකම් කියයි. වර්ෂ 2020 අප්‍රේල් මාසයේ වැඩ ඇරඹීමෙන් පසු, වසර පහක් පුරා ඉදිකරන ලද මෙම අධිවේගී මාර්ගය වෙනුවෙන් කරන ලද මුළු ආයෝජනය යුවාන් බිලියන 46.7 (ඩොලර් බිලියන 6.66) ක් බව වාර්තා වේ.
අධිවේගී මාර්ගය ඉදිකළ චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ China Communications Construction Co., ඉංජිනේරුවෙකුවන මියාඕ බෝඩොං Miao Baodong සඳහන් කර ඇති ආකාරයට දිගු උමග ව්‍යාපෘතියේ තීරණාත්මක කොටසක්වී ඇත. එමෙන්ම එය මීටර් 3000 කට ආසන්න උන්නතාංශයක ඉදිකර ඇති අතර උෂ්ණත්වය සෘණ 420 C දක්වා පහත වැටෙන එම ප්‍රදේශය ඉහළ භූ කම්පන ක්‍රියාකාරකම් සහ සංකීර්ණ භූ විෂමතා සහිත කලාපවලින් සංලක්ෂිතවන බව හෙතෙම පවසා ඇත. ලොව පුරා භාවිතයට ගැනෙන උමං මාර්ග සමීක්ෂණය සහ සැලසුම්, ඉදිකිරීම් ශිල්පීය ක්‍රම, සහ ආරක්ෂක ක්‍රමෝපායයන් සමග අති නවීන තාක්ෂණයන් ඉදිකිරීම් කටයුතු කිරීමේදී ඒකාබද්ධ කරගත් බවත්, මෙම ව්‍යාපෘතිය ලෝක වාර්තාවක් බවත් මියාඕ බෝඩොං තවදුරටත් පවසා තිබේ.
ජියැංසු Jiangsu පළාතේ ලියාන්යුන්ගාං – හෝර්ගෝස් Horgos සහ ලියාන්යුන්ගාං – කොර්ගාස් Khorgas අධිවේගී මාර්ගය වැනි පවතින අනෙකුත් අධිවේගී මාර්ග හා නව මාර්ගය යුරේසියානු ගොඩබිම් ඔස්සේ චීනය, මධ්‍යම ආසියාව හා බටහිර ආසියාව වෙත යොමුවන ප්‍රධාන මාර්ගයක් බවට පත්වන බව ෂින්ජියැං ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් කළමනාකරණ කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලී යාෆෙයි Li Yafei පවසා සිටීයි.
ෂින්ජියෑන් හි අධිවේගී මාර්ග ජාලයේ ප්‍රධාන කොටසක් වන මෙමගින් එහි පිහිටි නියමු නිදහස් වෙළඳ කලාපය Pilot Free Trade Zone උරුම්කි, කෂ්ගාර් Kashgar සහ හෝර්ගෝස් Horgos ප්‍රදේශ සමග සම්බන්ධ කරනු ඇත. එමඟින් උතුරු සහ දකුණු ෂින්ජියෑන් අතර වෙළඳපොළ සම්පත් හුවමාරුවට බලපාන ප්‍රවාහන පිරිවැය අඩුවනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කරයි. එය කලාපය පුරා බලශක්ති, නිෂ්පාදන සහ කෘෂිකාර්මික නිෂ්පාදන ගලායාම වේගවත්වීමට ද ඉවහල්වනු ඇතැයි ලී යාෆෙයි තවදුරටත් පවසා සිටී යි.
චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ China Communications Construction Co. ඉංජිනේරුවෙකු වන ෂු ජෙන්ෂෙන් Zhu Genshen පවසා ඇති ආකාරයට අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 116 ක කොටසක් ජෛව විවිධත්වයෙන් පොහොසත් ප්‍රදේශයක් හරහා වැටී තිබේ. රක්ෂිත කරන ලද වන සතුන්ගේ සැලකිය යුතු ගහණයක් එම කොටසේ වාසය කරන බවත් පැවසේ. එමෙන්ම මෙම අධිවේගී මාර්ගය ටියැන්ෂාන් කඳුකරයේ ග්ලැසියර, එඬේර තෘණ බිම්, වනාන්තර නිම්න, ගෝබි කාන්තාරය සහ තෙත්බිම් වැනි විවිධ භූ දර්ශන හරහා ගමන් කරන හෙයින් ඒ ඔස්සේ යන එන ජනතාවට මෙන්ම සංචාරකයින්ට පාරිසරික විවිධත්වය මෙන්ම සංරක්ෂණය සඳහා මෙම ව්‍යාපෘතියේ කැපවීම කෙතරම්ද යන්න අත්විඳීමට අවස්ථාව උදාවේ.
නව අධිවේගි මාවතේ ටියැන්ෂාන් ෂෙන්ග්ලි උමග Tianshan Shengli Tunnel ඇතුළුව උමං මාර්ග 17 ක් සහ වඩාත් දිග පාලම් 36 ක් සහ දිගින් අඩු පාලම් රැසකින් යුක්ත වේ. බොහෝ ස්ථාන වන සතුන්හට මෙන්ම ප්‍රාදේශීය එඬේරුන් සතු පශු සම්පත් තෘණබිම් වෙත දක්කාගෙන යාමට ඒමට, මාර්ගයට යටින් ගමන් පහසුව Underpasses සැලසීමට ද ඒවා ඉවහල් වේ. එමෙන්ම, අධිවේගී මාර්ගයේ කොටසක් ජල මූලාශ්‍ර ආරක්ෂණ කලාප සහ ජාතික වනෝද්‍යාන කිහිපයක් ද හරහා ගමන් කරන හෙයින් ඒ සඳහා කැපවූ පරිසර හිතකාමී පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති ආකාරය එහි යන එන මගීන්හට දැකගත හැකි ය.
“මෙය ඕනෑම කාලගුණික තත්වයක් යටතේ, ඉහළ කාර්යක්ෂමතාවයකින් හා විශාල ධාරිතාවයකින් යුක්ත වූ ප්‍රවාහන කොරිඩෝවක් වන හෙයින් එය චීනයේ ජාතික බලශක්ති සම්පත් සහ කෘෂිකාර්මික සැපයුම් දාමවල ඔරොත්තු දීමේ හැකියාව සහ ආරක්ෂාව සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ඇති බව” යුලි Yuli ජනපදයේ පිහිටා ඇති මොන්ගෝලියානු බේයින්ගොලින් ස්වයං පාලන ප්‍රාන්තයේ ප්‍රවාහන කාර්යාංශයේ Transportation Bureau of the Bayingolin Mongolian Autonomous Prefecture නියෝජ්‍ය අධ්‍යක්ෂ හුවාං ටාඕ Huang Tao ගේ අදහස වි ඇත. මේ අතර, “මීට පෙර උතුරු ෂින්ජියෑන් සිට යුලි දක්වා අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා දින තුනක් හෝ හතරක් ගත වුණා. දැන් එය දින එකක් හෝ දෙකකින් කළ හැකියි.” සමාගමේ ප්‍රවාහන වියදම් සහ කාලය සැලකිය යුතු ලෙස එමගින් අඩුවන බව සඳහන් කරමින් සීමාසහිත යුලි ලිහුවා ටෙක්ස්ටයිල් සමාගමේ කළමනාකරු ටාඕ ෆෙන්ග් Tao Feng පැවසී ය.
“ටියැන්ෂාන් කඳුකරයේ මාර්ග ඉදිකිරීම සෑම පියවරකදීම දැඩි අභියෝගවලට මුහුණ දුන්නා.” චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ ව්‍යාපෘතියේ සාමාන්‍යාධිකාරී ෂෝ ෂෙන් Zhou Zheng පවසා සිටීයි. මාර්ගය දිගේ වැටී ඇති සංකීර්ණ භූමි ප්‍රදේශයට පාලම් 14 ක් සහ උමං මාර්ග පහක් සහිත කිලෝමීටර් 11 ක කොටසක් ඇතුළත් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස පාලම්-උමං අනුපාතය 90% ඉක්මවන බව ඔහු වැඩිදුරටත් පවසා සිටීයි.
උමග ඉදිකිරීමේදී එහි අසාමාන්‍ය පරිමාණය නිසා අති විශාල අභියෝග රැසක් එල්ල වි තිබේ. කිලෝමීටර් 22.13 ක් විහිදෙන එහි උපරිම භූගත ගැඹුර සටහන් වන්නේ මීටර් 1112.2 ලෙස ය. භූ විෂමතා කලාප 16 ක් හරහා ගමන් කරන මෙම මාර්ගය ඉදිකිරීමේදී ඉහළ උන්නතාංශය, භූමියේ දැඩි ආනතිය, භූ කම්පන තීව්‍රතා ඉහළවීම, පාංශු විෂමතා සහ අධික සීතල යන ප්‍රධාන දුෂ්කරතා පහ ම ජය ගැනීමට සමස්ත කාර්ය මණ්ඩලයටම හැකිවී තිබේ.
එකී අභියෝගවලට මුහුණ දීම සඳහා චීන ඉදිකිරීම් ශිල්පීන් නව්‍ය තාක්ෂණික විසඳුම් උපයෝගීකර ගෙන ඇත. පාරිසරික බාධා අවම කරගැනීම සහ ද්‍රව්‍ය ප්‍රවාහන කාර්යක්ෂමතාව ඉහළ නංගවා ගැනීම සඳහා පරිසර හිතකාමී ලෙස ප්‍රවේශ මාර්ග ඉදිකිරීම, ප්‍රධාන උමගෙහි ඉදිකිරීම් කටයුතු උදෙසා නව්‍ය ඉදිකිරීම් ක්‍රමවේදයක් අනුගමනය කිරීම, සහ දෘඩ පාෂාණ කැණීම සඳහා චීන ඉංජිනේරුවන් විසින්ම නිෂ්පාදනය කරන ලද ලොව පළමු, පීඩන දෘඩ පාෂාණ උමං කැණීමේ යන්ත්‍රයක් Hard Rock Tunnel Boring Machine භාවිතයට ගැනීම ද ඒ අතර කැපී පෙනේ.
“නව අධිවේගී මාර්ගය විවෘතවීම නිසා, උතුරු සහ දකුණු ෂින්ජියෑන් අතර දිවා චාරිකා සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා සංචාරකයින් වැඩි පිරිසකගේ ආකර්ෂණීය පැමිණීමක් අපි බලාපොරොත්තු වෙනවා.” යැයි කලාප අතර නිතර ගමන් කරන, දිගු දුර බස් රථ රියදුරෙකු වන හැන් ජුන් Han Jun ගේ දැක්ම විය. “ෂින්ජියෑන් අධිවේගී මාර්ගයේ සමස්ත දිග කිලෝමීටර් 8000 ඉක්මවා යනවා. ඒ අනුව කලාපයේ අධිවේගී මාර්ග සහ පළමු පන්තියේ මහාමාර්ගවල මුළු දිග කිලෝමීටර් 13,000 ඉක්මවා යනවා.” කලාපීය ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුඕ ෂෙන්ග් Guo Sheng පවසා සිටීයි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ, සමස්ත කලාපය පුරාම වාණිජ සැපයුම් කටයුතු වේගවත්වීම සහ සංචාරක කර්මාන්තය ව්‍යාප්තවීමත් ය. ඉපැරණි සේද මාවතේ නව ආර්ථික තීරයේ ගම්‍යතාවයේ ප්‍රතිලාභ චීන ජාතිකයින් මෙයින් අත්විඳිනු ඇත. දුර දකින රාජ්‍ය නායකත්වයක තවත් මහඟු කර්තව්‍යයක ප්‍රතිඵලය චීනයට සුමිතුරු ලාංකිකයින් ලෙස අපිදු අගය කළ යුත්තෙමු.
(XinhuaNet හා China Daily අනුග්‍රහයෙනි. ඡායාරූප Hu Huhu /Xinhua වෙතිනි.)
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ













