
දිට්වා සුළි කුණාටුව අවසන් වුව ද දිට්වා විසින් ඇති කළ ආර්ථික හා සමාජයීය විනාශය මේ දක්වා නිසි පරිදි ගණනය කර පවා නැත. අහිමි වූ වටිනා මිනිස් ජීවිත, ලෝක බැංකුව විසින් ගණනය කර ඇති පරිදි ඩොලර් බිලියන 4.1ක් පමණ වන භෞතික සම්පත්වල හානිය මෑත ඉතිහාසයේ බිහිසුණුම විනාශයක තරම කියාපාන්නේය. මෙම දැවැන්ත විනාශයෙන් යළි නැගී සිටීම සඳහා සහ විපතට පත් ජනතාවට සහන ලබාදීම පිණිස ජනපති අනුරට රුපියල් බිලියන 500ක අති දැවැන්ත පරිපූරක ඇස්තමේන්තුවක් සම්ම්ත කර ගැනීමට සිදුවීම ද මේ විනාශයෙන් යළි නැගී සිටීමට ආණ්ඩුව දක්වන අප්‍රමාණ කැපවීම මොනවට පැහැදිලි කරන්නේය.
- දිට්වා කළ විනාශයෙන් යළි නැගී සිටීමට ජනපති ගත් මග
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගි වීමට, මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණියේය.
මෙහිදී අදාළ පරිපූරක ඇස්තමේන්තුව හරහා සිදු කිරීමට නියමිත කාර්යයන් දීර්ඝව පැහැදිලි කළ ජනපතිවරයා රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඉතා සැලසුම්සහගතව පියවරෙන් පියවර ඉදිරියට ගෙන යන බවත් ඒ වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට එක්වන ලෙසත් විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
ජනතාවට ආධාර ලැබී නොමැති නම් තව මාස දෙකකින් ගෙයින් ගෙට යන ලෙසත් දැනට ආපදා කළමනාකරණ කමිටුවට යන ලෙසත් ජනපතිවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේ ජන ජීවිතය යළි ගොඩනැගීමට බවත් ඒ අනුව බිලියන 700කට වැඩි මුදලක් ඊට වෙන් කර තිබෙන බවත් කී ජනපතිවරයා ආපදාවකදී ජනතාවට හිමි වූ ඉතිහාසයේ වැඩිම වන්දි මුදල තම රජය විසින් ලබා දෙන බවත් මෙම අසීරු අවස්ථාවට මුහුණ දීමට ධෛර්යය දුන්නේ රජය පවත්වාගෙන ගිය දැඩි මූල්‍ය විනය බවත් කීවේය.
මෙහිදී ජනපති අනුර මෙසේ ද කීවේය, “අපි ඉතා හොදින් මූල්‍ය විනයක් සහ ඉලක්කයක් සහිතව වැඩ කරපු ආණ්ඩුවක්. මේ 2025 වසර ගත්තොත් මේ වසරේ අපි ආර්ථික ක්ෂේත්‍රයේ වැදගත් සාධක ගණනාවකින් ජයග්‍රහණ ලබා තිබෙනවා. ඔබ දන්නවා දීර්ඝ කාලයක් භාණ්ඩාගාර ගිණුම පවත්වාගෙන ගියේ බැංකු අයිරාවකින්. ඇතැම් විට 33%, 36%ක් වැනි පොළියක් මේ බැංකු අයිරා වෙනුවෙන් ගෙව්වා. 2018 බැංකු අයිරාව බිලියන 180යි. 2019 එය බිලියන 274යි. 2020 බිලියන 575ක් සහ 2021 බිලියන 821ක් වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ බැංකු ගිණුම බිලියන 821 අයිරාවක් වී තිබුණා. හැබැයි 2025 නොවැම්බර් වන විට අපේ ආණ්ඩුවේ භාණ්ඩාගාර ගිණුමේ ධන අගය බිලියන 1202යි. ඒ කියන්නේ 2021ට සාපේක්ෂව ට්‍රිලියන 02ක ඉහළ යාමක්. එය අපේ රටේ ආර්ථිකයේ ඉතා වැදගත් කරුණක්. එවැනි සංචිතයක් නොතිබෙන්න අපිට අද මේ බිලියන 500 වෙන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එසේ නම් මේ බිලියන 500 සම්පූර්ණ කර ගැනීමට අපිට වෙන උපායමාර්ග ගණනාවක් සොයා ගැනීමට වෙනවා”.
ජාතික ජන බලවේගය ආණ්ඩුව හැදුවේ ලොකු හැඳිවලින් ආණ්ඩුවට බෙදා ගන්නත්, පොඩි හැඳිවලින් ජනතාවට බෙදන්නත් නොවන බව කී ජනපති අනුර ආර්ථිකයේ ප්‍රතිලාභ පෙරළා ජනතාවට ගලා යා යුතු බව ද අවධාරණය කළේය.
“හැබැයි මසුරු සිටාණෝ වගේ සියල්ල එකතු කරමින් ධනය එක් රැස් කර ගැනීම නොවෙයි, ආර්ථිකයක් කියන්නේ. ආර්ථිකයක් යනු එයින් ලබා ගන්නා යම් හෝ ප්‍රතිලාභයක් තිබෙනවා නම් ඒ ප්‍රතිලාභය පෙරළා ජනතාවට ගලාගෙන යාමට සැලැස්වීමයි. එසේ නොමැතිව භාණ්ඩාගාරයේ ට්‍රිලියන ගණනක් අතිරික්තයක් තිබෙනවා කියන එකෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභයක් නැහැ. ඒ නිසා අපි ආර්ථිකයේ අත්පත් කරගන්නා කුඩා හෝ ජයග්‍රහණයක් තිබෙනවා නම් ඒ ජයග්‍රහණය ජනතාව අතරට ගලා ගෙන යා යුතුයි. ඒ නිසා මේ ආපදා තත්ත්වයේදී ජනතාවට ආධාර ලබා දීම සඳහා අපි සතුව තිබු ට්‍රිලියන 1.2ක් වන සංචිත උපයෝගි කරගත යුතුයි. අපි එය අතහරින්නේ නැහැ. ආණ්ඩු බලය තිබෙන අය ලොකු හැදිවලින් බෙදාගත් ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා”.
මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ද ජනපති අනුර විශේෂ සඳහනක් කළේය. “අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලය රැස් වෙනවා. අපි විශ්වාස කරනවා අපිට සාධාරණයක් ඉටු කර දෙයි කියලා. අපි ඒ සඳහා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහාය අපේක්ෂා කර තිබෙනවා. ඒ නිසා 2026 සැලැස්මේ තිබු ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක්වත් අපි අලුතෙන් කැඳවාගත යුතුයි. ඒ නිසා අපි මෙහිදී උද්ධමනය පාලනය කර ගැනීම සහ විනිමය අනුපාතයට වන බලපෑම පාලනය කර ගැනීම පිළිබද අවධානය යොමු කර තිබෙනවා. එහිදී මෙම මුදල් වෙන් කිරීම පිළිබදව අපි සැලැස්මක් සකස් කර තිබෙනවා. ඒ අනුව අපි ලබා දෙන සහන පැකේජය පිළිබඳ පූර්ණ අදහස මම ඉදිරිපත් කරන්නම්”.
- ජනපති අනුර UEA ජනාධිපති සමඟ දුරකථන සංවාදයක
මේ අතර ජනපති අනුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා සමඟ පසුගිය 19 වැනිදා පැවති දුරකථන සංවාදයකදී අර්බුකාරී අවස්ථාවලදී ශ්‍රී ලංකාව සමඟ රැඳෙමින් නිරන්තර සහාය දැක්වීම පිළිබඳව ඔහු වෙත සිය කෘතඥතාව පළ කළේය.
මෙම ඇමතුම අතරතුර ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් මහතා ගංවතුරෙන් අහිමි වූ ජීවිත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ මෙරට ජනතාවට සිය බලවත් සංවේගය පළ කළ අතර, මෙම ආපදා තත්වයෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දීම සඳහා ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කළේය. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගනිමින් වැඩිදුර සහාය ලබා දීමට ඇති අවස්ථා සහ ආකාර සොයා බැලීම සඳහා හානියේ ප්‍රමාණය තක්සේරු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කණ්ඩායමක් මෙරටට එවීමට කටයුතු කරන බවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැවසුවේය.

- ‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය යථාවත් කිරීම පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක්
‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදි මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුරගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන,ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී විෂයයන්ට අයත් අමාත්‍යාංශවල ලේකම්වරුන්, අදාළ ආයතනවල ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 20 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණේය.
නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000 සහ ගෘහ උපකරණ මිලදී ගැනීමට ලබා දෙන රුපියල් 50,000ක දීමනාව මෙම දෙසැම්බර් 31 දිනට පෙර ලබා දීමට කටයුතු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම නිවාස සහ වගා හානි සඳහා වන්දි ගෙවීම්, දිවයින පුරා පවත්වාගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථානවල කටයුතු, ජනතාව නැවත පදිංචි කිරීම, ජීවනෝපායමාර්ග යළි ගොඩනැගීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ එහි ප්‍රගතිය පිළිබඳව ජනපති අනුර මෙහිදී සවිස්තරාත්මකව විමසා බැලුවේය.
වන්දි ලබා දීමේ ක්‍රියාදාමයේදී මතුව ඇති ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, එම කටයුතු කාර්යක්ෂම කිරීම සහ කිසිවෙක් අත්නොහැරෙන පරිදි වන්දි හිමි විය යුතු සියලුදෙනාටම එම ප්‍රතිලාභය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනතාව නැවත පදිංචි කිරීම් සහ ඒ සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනිම පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, ප්‍රධාන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කළ යුතු නිවාස ව්‍යාපෘති පිළිබඳ වෙනම සැලැස්මක් සකස් කිරීමටත්, ඊට අදාළව සියලු පාර්ශ්වයනගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් යළි කැඳවීමටත් කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසුවේය.
අධි අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් කර සුරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිවාස හානි සඳහා වන්දි ලබාදීමේදී සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද පැහැදිලි කළේය.

- ජනපති යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙවර අගය කරයි
ජනාධිපති අනුර දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පසුගිය 21 දා පෙරවරුවේ එක් වුණේය.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර වැඩිදුරටත් සඳහන් කළේ සෑම අසිරු අවස්ථාවකම යුද හමුදාව රටත්, ජනතාවත් වෙනුවෙන් ඉටුකරන මෙහෙය ප්‍රශංසනීය බවත්, විශේෂයෙන් පසුගිය සුළි කුණාටුව හමුවේ ජනතාව මුදා ගැනීමේ සහ පහසුකම් සැපයීමේදී ඉටු කළ විශිෂ්ට කාර්යභාරයට ස්තූතිවන්ත වන බවත්ය.
රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලුදෙනා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර මෙහිදී පැවසුවේය.
ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ලෙස පැවරී ඇති වගකීමත්, ආගමික සංස්ථාවන් ලෙස පැවරී ඇති වගකීමත්, ජනතාව ලෙස සහ ආරක්ෂක හමුදාවන් ලෙස පැවරී ඇති වගකීමත් නිසි පරිදි ඉටු කිරීමෙන් ඉතා ඉක්මනින් ඉතිහාසයේ අප සතු වූ අභිමානය සහ ගෞරවයේ උරුමය සහිත මාතෘ භූමිය යළි නිර්මාණය කරගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් එක්ව වැඩ කරමු’යිද සියලු දෙනාට ආරාධනා කළේය.
විසිර යාමේ උළෙල ඇමතු ජනාධිපති අනුර මෙසේ ද පැවසුවේය. “කෙඩෙට් නිලධාරීන් වශයෙන් දියතලාව ආරක්ෂක විද්‍යා පීඨයට ඇතුළු වී ජාත්‍යන්තරව පිළිගත් පුහුණුවක් සහිත අධ්‍යාපනයක් ලැබූ ඔබ අද අධිකාරියට පත් වෙනවා. එය ඔබගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇතැයි මම විශ්වාස කරනවා. ඔබගේ වෘත්තීමය ජීවිතයේ ඉදිරියට යන්න, තවත් අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකිවේවායි කියා ප්‍රාර්ථනා කරනවා”.

- ජනපති අනුරට ඉන්දීය අගමැතිගෙන් ලිපියක් සහ ආධාර පැකේජයක්
මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුව පසුගිය 23 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇතැ’යි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ප්‍රමුඛ ඉන්දීය රජය විශ්වාස කරන බව පැවසූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමඟ ඉන්දියාව අන් කවරදාටත් වඩා ශක්තිමත්ව අත්වැල් බැඳගෙන සිටින බවද ප්‍රකාශ කළේය.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් ජනාධිපති අනුර වෙත යොමු කරන ලද විශේෂ ලිපියද මෙහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පළමුවෙන්ම එක්වෙමින් ජනතාව මුදා ගැනීමේ, සහන සැලසීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය දැක් වූ හෘදයාංගම සහයෝගය මෙහිදී ජනාධිපති අනුර කෘතවේදීව අගය කළේය.
ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සහ ඖෂධ, අහාර ඇතුළු මානූෂිය ආධාර සපයමින් ද, විනාශ වූ මාර්ග ප්‍රතිසංස්කරණය, මහිංයගණය රෝහල ඇතුළු රෝහල් පද්ධතිය යථාවත් කිරීම ආදී යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන්ද ඉන්දීය රජය දැක් වූ සුවිශේෂී සහාය ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.
අසීරු සෑම අවස්ථාවකම ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහාය සිහිපත් කළ ජනාධිපතිවරයා, ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාන්විතය වෙනුවෙන් දිගු කළ සහෝදරත්වයේ හස්තය ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති බව සඳහන් කළේය.

- ජනපති චීන රජයේ ඉහළ නියෝජිත පිරිසක් හමුවෙයි
චීන නියෝජිත පිරිසක් සමඟ මෙරට සංචාරයක නිරත Wang Junzheng මහතා පසුගිය 23 වැනිදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර හමු වුණේය.
සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බවත්, ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහිදීද චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට සුදානම් බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng මහතා පැවසුවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය චීන නිල සංචාරයේදී දෙරටේ ජනාධිපතිවරු අතර ඇති කරගත් අවබෝධතාව සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සහයෝගීතාවෙන් කටයුතු කරන බව පැවසූ Wang Junzheng මහතා චීන රජයේ සහාය ඇතිව දැනට ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සහාය ලබා දෙන බව සඳහන් කළේය.
එමෙන්ම, රජයේ ප්‍රමුඛ වැඩසටහන් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහ අල්ලස හා දූෂණය පිටුදැකීමේ වැඩසටහනට සහාය ලබා දෙන බවත්, විශේෂයෙන් ග්‍රාමීය දිළිඳු බව පිටුදැකීමේදී චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ආපදාව හමුවේ චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් හදිසි සහ මානුෂීය ආධාර පිළිබඳව මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අතනොහැර යළි ගොඩනැඟීම වෙනුවෙන් ලබා දෙන අඛණ්ඩ සහාය ඇගයීමට ලක් කළේය. එමඟින් දෙරට අතර දිගුකාලීන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජන ජීවිතය යථා තතත්වයට ගෙන ඒම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් ආරම්භ කර ඇති ‘Rebuilding Sri Lanka’වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් චීන නියෝජිත පිරිස දැනුවත් කළේය.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2025 දෙසැම්බර් 28 කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි















