රනිල් – සජිත් කවදාවත් එකට එකතු වෙන්නේ නැහැ – අජිත් මාන්නප්පෙරුම – හිටපු පරිසර රාජ්‍ය ඇමති

වත්මන් ජනාධිපතිවරයාට හිටපු ජනාධිපතිවරුන්ට වාගේ දේශපාලන, ව්‍යපාරික සම්බන්ධතා නැහැ, ඇලීම් සහ බරපතළ බැඳීම් නැහැ. ආරක්ෂා කළ යුතු පුද්ගලයින් නැහැ. මීට පෙර බලයේ සිටි සියලුම ජනාධිපතිවරුන්ට විවිධාකාරයේ සම්බන්ධතා තියෙනවා. විශේෂයෙන් දේශපාලන පක්ෂ සහ තනි තනි පුද්ගලයින් සමඟ ඉතාම සමීප සම්බන්ධතා තිබෙනවා. නමුත් අනුරට ඒ වාගේ හානිකර සම්බන්ධතා සහ බැඳීම් නැහැ. මේක වාසිදායක තත්ත්වයක්. නමුත් යම් යම් අවාසිදායක තත්ත්වයක් තිබුණත් වාසිය පැත්ත බර වැඩියි. වාසිය තමයි කිසිම දූෂිත දේශපාලනඥයෙක් බේරා ගන්න, රැකවරණය දෙන්න අවශ්‍යතාවයක් ජනපති අනුරට නැහැ.

නොසිතූ මොහොතක රටම විනාශයට පත් කළ සුළි කුණාටුවක් ඇති වුණ. ඒ නිසා බොහෝ දේශපාලන කතා යටපත් වුණා. ඔබට අනුව මේ මොහොතේ රට තුළ පවතින දේශපාලන ප්‍රවණතාව කුමක් ද ?, විශේෂයෙන් මේ ආපදා තත්ත්වය හමුවේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය කොහොමද ?

මගේ අදහස අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න, දුන්න පොරොන්දු ඉටු කරන්න දැඩි උත්සාහයක යෙදනවා. ඒ වුණාට ජනාධිපතිවරයාට වැඩ කරන්න සුදුසු කණ්ඩායමක් නැහැ, ජනාධිපතිවරයා වටා සිටින කණ්ඩායම, ඒ කියන්නේ කැබිනට් එක, මන්ත්‍රීවරුන් ද ඇතුළු උපදේශයෝ ජනාධිපතිවරයාගේ අරමුණුවලට ගැළපෙන්නේ නැහැ.

ඒකට හේතුව කුමක් කියලද ඔබ හිතන්නේ ?

මීට ඉස්සර ආණ්ඩුවල කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබුණේ සැලකිය යුතු කාලයක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හෝ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ, යම් පමණකට හෝ සාර්ථකත්වයක් පෙන්නපු කෙනෙකුට. නමුත් මේ ආණ්ඩුවට ඒක කර ගන්න බැහැ. කිහිප දෙනෙක් හැර අති බහුතරය පාර්ලිමේන්තුවට පමණක් නෙමෙයි ක්‍රියාකාරී දේශපාලනයට පවා අලුත්. පාර්ලිමේන්තුව නියෝජනය කළ කිහිප දෙනා වුණත් අමාත්‍යධුරවල කටයුතු කරලා නැහැ. ඔවුන් හැමදාම හිටියේ විපක්ෂ මානසිකත්වයේ. ඒ නිසා රාජ්‍ය පාලනය, ආණ්ඩුකරණය ගැන මේ ආණ්ඩුවට කිසිම දැනුමක් හෝ අත්දැකීමක් නැහැ.  ඒක බරපතළ ප්‍රශ්නයක් ලෙස මම දකිනවා.

ඔබ එසේ කීවත් මේ ආණ්ඩුව නියෝජනය කරන අති බහුතරයක් වෘත්තිකයෝ, උගතුන් නේද ?

ඉගෙන ගත්තා කියන එකයි, ජනතාවට සේවය කිරීමයි කියන්නේ දෙකක්. මහජන නියෝජිතයෙක් වෙන්න දේශපාලන අත්දැකීම්, ජනතාවගේ ප්‍රශ්න ගැන සංවේදීකමක්, දැනුමක් තිබිය යුතුයි. දේශපාලනය කියන්නේ වෘත්තියක්.

ඔබ එසේ කීවත් මේ ආණ්ඩුවේ දීර්ඝ කාලයක් දේශපාලනය කළ, පාර්ලිමේන්තුව නියෝජනය කළ, වෘත්තීය සමිති වලට නායකත්වය දුන් ජනතාව සම ඉතාම සමීපව කටයුතු කළ, ජනතාවගේ ප්‍රශ්න ගැන දීර්ඝ කාලයක් කතා කළ අමාත්‍යවරු කිහිප දෙනෙකුත් සිටිනවා නේද ?, ඔවුන් සාර්ථක ද?, ජනාධිපතිවරයාට නිසි සහායක් දෙනවාද ?

ඔව්, ජනාධිපති අනුර හැරුණ විට, සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත්, ලාල් කාන්ත, හරිනි අමරසූරිය සැලකිය යුතු කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරලා තිබෙනවා. විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති සහ ලාල් කාන්තා චන්ද්‍රිකා බණ්ඩාරනායන ආණ්ඩුව කාලේ අමාත්‍යධුර පවා දරා තිබෙනවා. නමුත් ඒ ඉතාම කෙටි කාලයකට පමණයි. අපි උදාහරණයකට විදේශ ඇමැති  විජිත හේරත් ගත්තොත් ඔහු මේ වගේ දැවැන්ත අර්බුධච සමයක කොපමණ වැඩ කොටසක් කළ යුතු ද ?, සෞඛ්‍ය අමාත්‍යවරයා මොන තරම් වැඩ කොටසක් කළ යුතු ද?. ඒත් ඒ කිසිවක්ම මේ අවස්ථාවේ වෙන්නේ නැහැනේ. ඒකට හේතුව තමයි මේ අය මෙපමණ කාලයක් කළේ කොරහේ කිඹුල්ලු දැක්ක එක. නමුත් අණ්ඩු බලය ලැබුණට මේ අයට අලුත් තත්ත්වයට හුරු වෙන්න බැහැ. ඒ නිසා තමයි මේ අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ.

නමුත් වත්මන් ආණ්ඩුව දේශපාලන සංස්කෘතිය වෙනස් කළා නේද ?, සිස්ටම් එක චේන්ජ් කළා නේද ?

රට හදන්න නම් කළ යුතු වැඩ දෙකක් තිබෙනවා. එකක් තමයි මේ රටේ ජරාජීර්ණය වුණ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. මේක වෙනස් කළ යුතුමයි. මේ රට මේ තරම් අර්බුදයකට ගියේ වංචාව, දූෂණය නිසයි. ඒකට මුල් වුණේ, රැකවරණය හා අනුබල දුන්නේ දේශපාලනඥයෝ බව අපි කවුරුත් දන්නවා. දූෂිත රාජ්‍ය නිලධාරීන්ව ආරක්ෂා කළේ, කුඩුකාරයින් ඇතුළු ජාවාරම්කාරයෝ ආරක්ෂා කළේ දේශපාලනඥයෝ. හැම දේශපාලනඥයෙක්ම මේ වැඩේ කළේ නැතිවුණත් සැලකිය යුතු පිරිසක් මේක කළා. ඒ වගේම රටේ ආර්ථිකය හදන්න ඔ්නෑ. නමුත් ජාරා දේශපාලනය අවසන් නොකර ආර්ථිකය හැදුවට වැඩක් නැහැ, ඒ වගේම ආර්ථිකය නොහදා ජරා දේශපාලනය අවසන් කළාට වැඩක් නැහැ. අපි රටක් ලෙස දියුණු වෙන්න නම්,  මේ දෙකම එකවර සිදුවිය යුතුයි. මේක කිසිසේත්ම පහසු වැඩක් නෙමෙයි.

ඔබ ඇයි එහෙම කියන්නේ ?, ජනාධිපති අනුරට, මාලිමාවට මේ දෙකම කරන්න පුළුවන් කියල නේද ජනතාව ඡන්දය දුන්නේ ?

වෙන්න පුළුවන්. නමුත් කරන්න බැහැ. ජනාධිපති අනුර කුමාර දිසානායකට වංචාව, දූෂණය, හොරකම නතර කරන්න පුළුවන්. ඔහු ඒකට විශේෂඥයෙක් බව පේනවා. මම එයින් අදහස් කරන්නේ නැහැ ජනාධිපතිවරයා වටේ ඉන්න සියලුම දෙනා හොඳ මිනිස්සු කියලා. ඔහු ළඟත් හොරු, දූෂිතයෝ හිටියා කුඩු මුදලාලිලා හිටියා, ඔවුන්ව අහුවුණා. නමුත් ජනාධිපතිවරයාගේ තේමා පාඨය තමයි ‘වංචාව දූෂණය පිටුදැකීම, නීතියේ ආධිපත්‍ය හා නීතියේ විධානය ආරක්ෂා තහවුරු කිරීම, නීති ගරුක රටක් බිහි කිරීම. මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයා වටේ ඉන්න සියලු දෙනාටම වඩාත් විමසිලිමත් වෙන්න, ආරක්ෂාකාරී වෙන්න සිදුවෙනවා. ඒ නිසා යම්කිසි විනයක් ර‌ට තුළ හැදෙනවා. මම යළිත් කියනවා මේකෙන් අදහස් වෙන්නේ නැහැ ජනාධිපතිවරයා වටා සිටින කණ්ඩායම ඉතාම යහපත් අය කියලා. පසුගිය කාලය තුළ ආණ්ඩුවේ පිරිසිදුකම දැඩිව ප්‍රශ්න කිරීමකට, අභියෝගයකට ලක්ව තිබෙනවා. කුඩුකාරයෝ, හොරු, දූෂිතයෝ අහු වුණා.  රංවල වාගේ අපකීර්තිමත් සිදු වීම් සිදු වුණා. ආණ්ඩුව කියන තරම් සදාචාර සම්පන්න නැහැ. නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තවමත් ජනතාව තුළ බලාපොරොත්තු දල්වා තිබෙනවා.  ජනතාව තවමත් ඔහුව විශ්වාස කරනවා, ඔහු යමක් කරයි කියලා විශ්වාස කරනවා.

ජනාධිපතිවරයා ගැන තිබෙන විශ්වාසය පමණක් ප්‍රමාණවත් කියලා ඔබ හිතනවාද ?

නැහැ, වත්මන් ජනාධිපතිවරයාට හිටපු ජනාධිපතිවරුන්ට වාගේ දේශපාලන, ව්‍යපාරික සම්බන්ධතා නැහැ, ඇලීම් සහ බරපතළ බැඳීම් නැහැ. ආරක්ෂා කළ යුතු පුද්ගලයින් නැහැ. මීට පෙර බලයේ සිටි සියලුම ජනාධිපතිවරුන්ට විවිධාකාරයේ සම්බන්ධතා තියෙනවා. විශේෂයෙන් දේශපාලන පක්ෂ සහ තනි තනි පුද්ගලයින් සමඟ ඉතාම සමීප සම්බන්ධතා තිබෙනවා. නමුත් අනුරට ඒ වාගේ හානිකර සම්බන්ධතා සහ බැඳීම් නැහැ. මේක වාසිදායක තත්ත්වයක්. නමුත් යම් යම් අවාසිදායක තත්ත්වයක් තිබුණත් වාසිය පැත්ත බර වැඩියි. වාසිය තමයි කිසිම දූෂිත දේශපාලනඥයෙක් බේරා ගන්න, රැකවරණය දෙන්න අවශ්‍යතාවයක් ජනපති අනුරට නැහැ.

ඔබ හිතන ආකාරයට අනුරට ආර්ථිකය හදන්නත් පුළුවන් ද ?

බැහැ, ඒකට හේතුව තමයි ඔහුට කණ්ඩායමක් නැහැ. ජනාධිපතිවරයාට පමණක් තනියම රට පාලනය කරන්න බැහැ. මම යළිත් කියනවා, ජනාධිපතිවරයාට වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් නැහැ. ඔහුගේ කැබිනට් ඇමැතිවරුන් කිසිසේත්ම සතුටුදායක ලෙස වගකීම ඉටුකරන්නේ නැහැ.

අපි දැක්කා පසුගිය ජනධිපතිවරණ සමයේ වෘත්තිකයින් අති විශාල පිරිසක් මාළිමාව වටා රැස් වෙනවා. ඔබ හිතන ආකාරයට මේ වෘත්තිකයින්ගේ සහාය පවා ජනාධිපතිවරයාට ලැබෙන්නේ නැද්ද ?

දේශපාලන කියන්නේ වෙනත් වෘත්තියක්. මම වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වුණත් මම දේශපාලනඥයෙක් ලෙස සාර්ථක නොවෙන්ත් පුළුවන්. දේශපාලනයට නොගැළපෙන්නත් පුළුවන්. හැම වෘත්තිකයෙකුටම දේශපාලනඥයෙක් වෙන්න බැහැ. වෙනස තමයි දේශපාලනය කියන වෘත්තියට ආදාළ අධ්‍යාපන සුදුසුකමක් නැහැ. ඉගෙන ගත්තා කියලා කියන්නේ යම්කිසි ක්ෂේත්‍රයක් ගැන ප්‍රමාණවත් දැනුමත් ලබා ගත්තා කියන එකනේ. අපි මේක පටලවා ගෙන ඉන්නේ. ඇතත්ටම දේශපාලනයට ඉගෙන ගත්ත එකම පමණක් ප්‍රමාණවත් නැහැ. ඩී.එස්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඉගෙන ගත්ත අය නෙමෙයිනේ. නමුත් ඒ අය රටට වැඩක් කළානේ. දේශපාලනඥයාට මනා පරිපාලන හැකියාවක් තිබිය යුතුයි. ඔහු සතු පරිපාලන හා කළමනාකරණ දැනුම තමයි වඩාත් වැදගත් වෙන්නේ.

නමුත් මාළිමාව ජනතාවට හමුවේ අලෙවි කළේ ඔබ ඔය විවේචනය කරන උගත්කම නේද ?

දේශපාලනඥයා යම්කිසි දැනුමක් සහිත පුද්ගලයෙක් විය යුතුයි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. ඔහු යම්කිසි දේශපාලන සංස්කෘතික් තුළ පෝෂණය වුණ පුද්ගලයෙක් විය යුතුයි. අපි පසුගිය කාලය පුරාම මේ අර්බුදය දැක්කනේ. ප්‍රේමදාස දේශපාලනය තුළ කවුද හිටියේ කියලා අපි දැක්කා, අපි වුණත් ආසා නැති මිනිස්සු ප්‍රේමදාස එක්ක හිටියනේ. මහින්ද රාජපක්ෂ ළඟත් හොඳ අය වගේම නරක අයත් හිටියා. සෑම දේශපාලන පක්ෂයකම මේ වගේ විවිධාකාර පුද්ගලයෝ හිටියා. ඒක තමයි දේශපාලනයේ ස්වභාවය.  මේ අතරේ සමහර දේශපාලනඥයෝ වඳුරට දැලි පිහිය හම්බ වුණා වාගේ කටයුතු කළා. අයුතු ප්‍රයෝජන ගත්තා. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න තමයි ජනතාව මාළිමාවට, අනුරට ඡන්දය දුන්නේ. අනුර ඉල්ලා සිටි ආකාරයට ඔහුගේ උගත් කණ්ඩායම තොග පිටින් පාර්ලිමේන්තුවට පත් කළේ ඒ නිසයි. ඒත් යම් අවුලක් වුණා. එක පාරට දේශපාලනයට කඩාපාත් වුණ, ඇමැතිකම් ගන්න සියලු දෙනාට වැඩ කරන්න බැහැ. මම වුණත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දක්වා ගමන් කළේ මුල සිට ආරම්භ කරලා. නගර සභාවට පත්වෙලා, පළාත් සභාවට පත් වෙලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වෙලා දීර්ඝ කාලයක් ගියාට පස්සේ තමයි  පරිසර රාජ්‍ය අමාත්‍යධුරය ලැබුණේ. දේශපාලනයේ වටේම ගිහින් ඇවිත් තමයි මම ඇමැති කෙනෙක් වුණේ. මම මේ කියන අත්දැකීම වෙනස්ම එකක්.

ඔබ කියන ආකාරයට රටේ ආර්ථිකය හදන්න පුළුවන් කාටද ?

රටේ ආර්ථිකය හදන්න පුළුවන් රනිල් වික්‍රමසිංහටම විතරයි, වෙවත් විකල්ප නැහැ.  අනුරට රට හදන්න අවශ්‍ය නම්, ඔය වාද භේද සියල්ල අමතක කරලා, පරණ පුරුදු විදිහට රනිල් එක්ක එකතු විය යුතුයි. අනුර – රනිල් එකතු වුණා නම් හොඳ රටක් හදන්න පුළුවන්.

මේක යථාර්ථයක් වෙන්න පුළුවන් ද ?

වෙන්න පුළුවන්, ආර්ථික අර්බුදය හමුවේ ගෝඨාභය රාජපක්ෂ රනිල් එක්ක එකතු වුණා‌නේ, මහින්දලා එකතු වුණානේ. රනිල් තමන්ට දුන්න වගකීමත් ඉටු කළානේ. ඒ නිසා මම කියන්නේ අපි රට ගැන හිතන්න අවශ්‍ය වෙලාව ඇවිත් තියෙන්නේ. රනිල්ට ආර්ථිකය හදන්න පුළුවන් වුණත් හොරකම නතර කරන්න බැහැ. අනුරට ඒක කරන්න පුළුවන්. ‘ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත’ කියලනේ කියන්නේ. ඒ නිසා ජනතාවගේ අපේක්ෂාව වන හොරකම, වංචාව, දූෂණය නතර කිරීමේ විශේෂඥ හැකියාව තියෙන අනුර සහ, ආර්ථිකය සංවර්ධනය කිරීමේ විශේෂඥ හැකියාව තියෙන රනිල් එකතු වෙලා කටයුතු කළ යුතුයි. ඒ තීරණාත්මක අවස්ථාව දැන් ඇවිත් තියෙනවා.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වීමත් සුළි කුණාටුවට ගසා ගෙන ගියා ද ?

මම මේ අර්බුදයට මැදි වුණ කෙනෙක්නේ. මම දේශපාලනය අතහැරියේ සජිත් මගේ ගම්පහ ආසනය ඉවත් කළ නිසානේ. මම දකින ආකාරයට කවදාවත් සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වෙන්නේ නැහැ, කවුරු හරි ඒක කියනවා නම් ඒක විහිළු කතාවක්. නමුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඇතුළු සාමාජිකයෝ එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න සූදානම්. ඔවුන්ට සජිත්ව ඇතිවෙලා තියෙන්නේ. මම ඒක හොඳාකාරම දන්නවා. සජිත්ට කවදාවත් තනියම ගොඩ යන්න බැහැ. ඒකට අවශ්‍ය දැක්මක් සහ හැකියාවක් ඔහුට නැහැ. ඔහුගේ තියෙන උද්දච්ඡකමයි, දේශපාලන සවිඥානිකත්වය නොමැතිකම නිසා සජිත් ප්‍රේමදාස කවදාවත් රනිල් එක්ක එකතු වෙන්නේ නැහැ.

රතුඉර පුවත්පතේ 2025 දෙසැම්බර් 21 කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි

සටහන – භාතිය බරුකන්ද

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website