බිලියන 500 පරිපූරක ඇස්මේන්තුවෙන් විපතට පත් ජනතාවට සහන පැකේජයක් – සාරාංශය මෙන්න !

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම තුළ ජනතාවට හිමිවන සහන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේය.

පූර්ණ නිවාස හානි 6,282ක්,  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අවසර ලබා නොදෙන අර්ධ හානි වූ නිවාස 4,543ක්, කිසිදු හානියක් නොවූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවසර ලබානොදෙන නිවාස 6,877ක් ඇති අතර, මුළු නිවාස 17,648ක් සඳහා මාස තුනකට රුපියල් 50,000 බැගින් ලබාදීමට රජය කටයුතු යොදා ඇතැයි ද ජනාධිපතිවරයා පැවසුවේය.

ඩොලරයේ අගය නොවෙනස්ව පවත්වා ගැනීමට අවශ්‍ය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපේක්ෂා කරන කී ජනපතිවරයා 2026 සැලසුමේ තිබූ ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 500ක් අලුතින් උපයාගැනීම තුළින් ඩොලරයට එන බලපෑම වළක්වා ගත හැකි බව ද පැවසුවේය.

මෙහිදී ජනතාවට ලබා දෙන සහන පැකේජය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනපතිවරයා හදිසි ආපදා තත්ත්වය පහව යෑමෙන් පසුව ආපදාවට ලක්වූ පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීමට රුපියල් 25,000ක් ලබාදීමට පියවර ගන්නා අතර නිවාසට හානි වූ හෝ නිවසේ ගෘහ භාණ්ඩවලට හානි වූ නිවාස සඳහා මුලික උපකරණ ලබාගැනීම සඳහා රුපියල් 50,000ක් ලබා දෙන බව ද කීවේය.

සම්පූර්ණයෙන්මනිවාස අහිමි වූ හා  ආදායම් මාර්ග අහිමි වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිර්දේශ ඇති අර්ධ වශයෙන් හානි වූ නිවාස හිමියන්ට හෝ නිවාස හානි වී නොමැති වුවත් අවදානම් තත්ත්වය තුළ නිවාසට යෑමට නොහැකි ජනතාවට රුපියල් 50,000ක දීමනාවක් ජනවාරියේ සිට මාස තුනක කාලසීමාවක් ලබා දෙන බව කී ජනපතිවරයා නිවාස සම්පූර්ණයෙන් හානි සිදුව ඇති, අර්ධ නිවාස හානි හෝ නිවසට හානි සිදුව නොමැතිව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනායේ නිර්දේශ මත නිවසින් බැහැරවීමට උපදෙස් දුන් පිරිසට රුපියල් 25,000 බැගින් ලබා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

කෘෂිකර්මාන්තයට සිදුව ඇති හානිවලට ලබා දෙන සහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළ ජනපතිවරයා වී, බඩඉරිඟු, රටකජු සහ ධාන්‍ය වගා කර ඇති  ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 150,000ක දීමනාවක් සහ මිරිස්, ලොකු ළුෑණු, ගස්ලබු, කෙසෙල් වගාකළ ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 200,000ක දීමනාවක් ලබා දෙන බවත් ඝණත්වය අනුව ගම්මිරිස්, එනසාල් සහ කෝපිවලට ද වන්දි ලබා දෙන බව පැවසුවේය.

සුළි කුණාටුවෙන් පශු සම්පත්වලට සිදු වුණ හානිය වෙනුවෙන් ලබා දෙන සහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ ජනපතිවරයා පශු වෛද්‍ය කාර්යාලවල ලියාපදිංචි වූ දෙමුහුන් ගවයෙක් වෙනුවෙන් රුපියල් 200,000ක බැගින් උපරිම ගවයින් 10ක් සඳහා ආධාර මුදලක් ලබා දෙන බවත් දේශීය ගවයෙකු වෙනුවෙන් රුපියල් 50,000ක දීමනාවක් උපරිම ගවයින් 20 දෙනෙකු සඳහා ආධාර ලබා දෙන බවත් ප්‍රකාශ කළේය.

එසේම ඌරන්, එළුවන් සහ බැටළුවන් සත්ත්ව පාලනයේ යෙදෙන ලියාපදිංචි වී සිටින ගොවීන්ට එක් සතෙකුට රුපියල් 20,000 බැගින් සතුන් 20 දෙනෙකු සඳහා ආධාර මුදලක් ලබා දෙන බවත් කුකුළු පාලනයේ යෙදෙන කුකුළු ගොවිපොළ හිමියන්ට මියගිය එක් ලේයර් සතෙකුට රුපියල් 500 බැගින් උපරිම සත්තු 2,000ක් දක්වා ආධාර මුදල් ලබා දෙන බවත්  බ්‍රොයිලර් සතෙකුට රුපියල් 250 බැගින් සත්තු 4,000ක උපරිමයකට යටත්ව ලක්ෂ 10ක් ලබා දෙන බවත් පැවසුවේය.

ධීවරයින් වෙනුවෙන් ද සහන පැකේජයක් ජනපතිවරයා විසින් ප්‍රපකාශයට පත් කළ අතර ආපදාවට ලක්වූ පාසල් සිසුන්ට රුපියල් 25,000 දීමනාවක් ලබා දෙන බව ද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website