වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල වාන් දොරටු විවෘත කිරීම සමඟ පිටවන ජලය මහවැලි ගඟට එකතු වීමෙන් සහ, වර්ෂාපතනය ලැබීම වැඩි වීමත් සමඟ ජලාශවලට ජලය එකතු විමේ ශීඝ්‍රතාවය වැඩි වීම හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම වැඩි වනු ඇති බව මහවැලි අධිකාරියේ, ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ, අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස පවසයි.
ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් උදෑසන 10.20 වන විට ජාලාශවල වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කළ අතර වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් සෙන්ටි මීටර් 70 බැගින්, රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු 2ක් මීටර් 2.5 සහ මීටර් 1 බැගින් විවෘත කර ඇති බව මෙන් ම, රන්ටැඹේ වාන් දොරටු 2ක් මීටර් 2 සහ මීටර් 2.5 බැගින් විවෘත කර ඇති බව එහි සඳහන් කර ඇත.
මේ තත්ත්වය හමුවේ උද්ගත විය හැකි අවධානම් තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් ධර්මදාස මහතා මෙසේ ද පැවසුවේය, “ලොග්ගල් ඔය තියෙනවා, හෑපොල ඔය තියෙනවා, දියබාන ඔය, උල්හිටය ඔයත් ඔක්කොම ස්පිල් කරනවා. ඊට අමතරව බදුලු ඔය ඇළකට සම්බන්ධ වෙන්නේ නැතිව කෙලින් ම ගිහින් මහවැලි ගඟට වැටෙනවා. ඔය ඔක්කෝම එකතු වුණා ම ගඟේ පහළින් ජල මට්ටම වැඩි වෙනවා. ජනතාවට අපි කියනවා විමසිලිමත්ව හා අවදානයෙන් ඉන්න කියලා. ඒ වගේ ම මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා කොච්චර ඩිසාස්ටර් එකක් වුණත් ස්පිල් වුණා ම බලන්න යනවා, මාළු අල්ලන්න ගලාගෙන යන සැඩ පහරට පනිනවා. අන්න ඒ දේවල්වලින් වළකින්න කියලා තමයි ඉල්ලන්නේ.”












