ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සම්බන්ධ වූ සපුගස්කන්ද මාර්ග අනතුර සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තම රාජකාරි ඉටු කිරීමේ දී නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
පොලිස් මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද එම නිවේදනයකට අනුව, පොලිස්පතිවරයාගේ සෘජු උපදෙස් අනුගමනය කරමින් රථවාහන කළමනාකරණ සහ මාර්ග ආරක්ෂණ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විශේෂ පරීක්ෂණයක් පවත්වා ඇත.
අනතුර පිළිබඳ විමර්ශනයේ දී පහත සඳහන් පොලිස් නිලධාරීන් විසින් රාජකාරි පැහැර හැරීම අනාවරණය වී ඇත:
- සපුගස්කන්ද පොලිස් ස්ථානයේ භාර නිලධාරියා (OIC).
- රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ මූලික විමර්ශනය සිදු කළ නිලධාරීන්.
- සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කිරීම සඳහා වගකිව යුතු ජ්‍යෙෂ්ඨ ගැසට් කළ නිලධාරීන්.
මෙම සොයා ගැනීම් සැලකිල්ලට ගනිමින්, නොසැලකිලිමත්කම සඳහා හඳුනාගත් නිලධාරීන්ට එරෙහිව විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීමට මග පාදන මූලික පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් දී ඇති බව ද අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.












