- පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් දී ඇති වාර්තා වේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පසුගිය 21 වැනිදා රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය ලැබී තිබෙනවා. මේ නිර්දේශ ලබා දෙන්නේ 2021 වර්ෂයේ මැයි 17 වැනිදා. ඒ කියන්නේ අදාළ නිර්දේශ ලබාදී වසර පහකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. එසේම වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. එවැනි පසුබිමක් තුළ මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යාමේ අරමුණ කුමක් ද ?
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන විමර්ශන කටයුතු වේගවත්ව සහ නිසි ඉලක්කයට සිදුවෙන බව ඔබ දන්නවා. ඊට පරිබාහිරව, එවකට පැවැති ආණ්ඩු විසින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂමක් පත් කළා. ඒ වගේම එවකට ජාතික ආරක්ෂව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් යම්කිසි වාර්තාවක් ලබා දී තිබෙනවා. එහි අන්තර්ගතය සම්බන්ධයෙන් යම් යම් ගැටලු තිබෙන්න පුළුවන්. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ සඳහන් වන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණයක් තිබුණේ නැහැ, ඒක තමයි ගැටලුව. අපට අවශ්‍ය නම් මේවා නොසලකා ඉන්න හැකියාව තිබුණා. නමුත් අපි ඒ වාර්තාවල තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න සූදානම්. විශේෂයෙන්ම යළිත් වතාවක් මෙවැනි ප්‍රහාරයක් ඇති වීම වළක්වා ගැනීම අරමුණු කර ගත් යම් යම් නිර්දේශ මෙම වාර්තා තුළ අන්තර්ගත කර තිබෙනවා. ඒ නිසා තමයි 2021මැයි මස 17 වැනිදා කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී අනුමැතිය ලැබුණත්, මේ දක්වා ක්‍රියාත්මක නොකළ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම සඳහා අවකාශය සැලසීමට තමයි මේ කමිටුව පත්කරලා තිබෙන්නේ. මේ කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ සඳහා අදාළ අමාත්‍යාංශ හා ආයතනයන්හි නියෝජනයන්ගෙන් සහ ප්‍රති – ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ජාතික ආරක්ෂක විෂය ක්ෂේත්රය සම්බන්ධ ප්‍රවීණයෙකු පත්කර තිබෙනවා. ඔවුන් රජයට අදාළ නිර්දේශ ඉදිරිපත් කරයි. මේක වෙනම කරුණක්.
- නමුත් ඔබතුමා මගේ ප්‍රශ්නයට පිළිතුරක් දුන්නේ නැහැ. ඇයි වත්මන් ආණ්ඩුව බලයට පත්වෙලා අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වුණාට පස්සේ මේ වගේ තීන්දුවක් ගත්තේ ?
ඒක දැකලා, ඒ පිළිබඳ සාකච්ඡා කරලා තමයි ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා මේ කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කළේ. මේක අත්සන් කරලා තිබෙන්නේ මාර්තු මාසේ 08 වැනිදා. ඔබ හිතනවා නම් මේක අප්‍රේල් 21ට පස්සේ ඉදිරිපත් කළ යෝජනාවක් කියලා ඒක එහෙම නෙමෙයි. මේ යෝජනාව ඉදිරිපත් කරලා මස එකහමාරක් පමණ වෙනවා. මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ඇතැම් විට අමාත්‍යාංශවල නිරීක්ෂණ අවශ්‍යයි. එම ක්‍රියාවලියත් පසුකරලා තමයි මෙවර කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව ආවේ. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. අපි මේ එකක්වත් අත අරින්න සූදානම් නැහැ. කලින් ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ලද විමර්ශන වල වාර්තාත් සැලකිල්ලට ගෙන, එවායින් ද ක්‍රියාත්මක කළ හැකි නිර්දේශ තිබෙනවා ද කියන කාරණය සැලකිල්ලට ගෙන තමයි අපි කටයුතු කරන්නේ. මොකද, ඒ ඒ අවස්ථා වලදී කුමන අරමුණකින් මේ කොමිෂන් සහ ආංශික කාරක සභා ක්‍රියාත්මක වුණත් ඒවායේත් නිර්දේශ සැලකිල්ලට ගැනීම තමයි රජයේ අපේක්ෂාව.
- පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂමකුත් පත්කර තිබෙනවා. එම වාර්තාවේ ඉස්ලාම් ආගමික ඉගැන්වීම තුළ තිබෙන අන්තවාදී ඉගැන්වීම් ඉවත් කරන්න කියලා නිර්දේශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා ද ?, මේ ගැන කතෝලික පල්ලියෙන් පවා ඉල්ලීමක් තිබෙනවා. මේ සම්බන්ධ රජයේ ස්ථාවරය කුමක් ද ?
මේ සම්බන්ධයෙන් මට හෝ කැබිනට් මණ්ඩලයට යමක් කියන්න බැහැ. ඒ වාර්තා වල තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ ඒවායේ ප්‍රගතිය ඇගයීමට ලක් කිරීම සඳහා තමයි මේ කමිටුව පත් කරලා තිබෙන්නේ. මේ කමිටුව තුළ ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අමතරව බුද්ධ සාසන අමාත්‍යාංශයේ නියෝජිතයෙකුත් ඉන්නවා. ඒ ආකාරයෙන් අමාත්‍යාංශ කිහිපයක් නියෝජනය වෙනවා. අපි හිතනවා මේ කමිටුව විසින් අදාළ නිර්දේශ ලබා දෙයි කියලා. ඒ නිර්දේශ ලබා දුන්නට පස්සේ, කවර නිර්දේශ, කවර කාලයක් තුළ ප්‍රකාශයට පත් කරනවාද කියලා අපට කියන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ ඒ ගැන කිසිවක් කියන්න බැහැ.
- සාවද්‍ය සහ වැරදි සහගත තොරතුරු විශ්වාසනීයත්වයකින් තොරව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් පළ කිරීමෙන් පුරවැසියන්ට සිදුවන හානිකර තත්ත්වය පිළිබඳ ඔබේ අදහස කුමක් ද ?
මේකට පොදුවේ උත්තරයක් දෙන්න බැහැ. මාධ්‍ය භාවිතය තුළින් තමාට අසාධාරණයක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පුරවැසියාට පුළුවන්. විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය විසින් ප්‍රකාශයට පත්කරන ලද යම් තොරතුරකින් තමාට අගතියක්, අපහාසයක් හෝ තමන්ගේ කීර්ති නාමයට හානියක් වුණා කියලා හිතනවා නම් ඔහුට හෝ ඇයට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ වගේම රූපවාහිනී බලපත්‍ර ලබා දීමේ දී නිකුත් කර ඇති කොන්දේසි කඩකිරීම සම්බන්ධ පැමිණිලි ලැබුණොත් ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරනවා. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව, ආර්ථිකය සහ ජනතාවගේ සෞඛ්‍ය, ජාතික සමගි සහ සංහිඳියාව සම්බන්ධයෙන් බලපත්‍ර ලබා ගැනීමේ දී එකඟ වෙන ලද කරුණු කඩකිරීම සම්බන්ධයෙන් පැමිණිලි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් පියවර ගන්නවා. අදාළ පාර්ශ්ව කැඳවලා සාකච්ඡා කරනවා. සමහර අවස්ථාවල ඔවුන් අදාළ කරුණු නිවැරදි කරනවා. නිවැරදි කිරීම ප්‍රමාණවත් නැති නම් ඊළඟට කළ හැක්කේ කුමක් ද යන්න පිළිබඳව සාකච්ඡා කළ හැකියි. සිදුවීමෙන් සිදුවීම සලකා බැලීමෙන් පමණයි මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමක් කළ හැකි වන්නේ.
- මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබිලා තිබෙනවා ද ?
ඔව්, පැමිණිලි කිහිපයක් ලැබිලා තිබෙනවා. ලාල් කාන්ත අමාත්‍යවරයාගෙන් පමණක් නොවෙයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගෙනුත් පැමිණිල්ලක් ලැබිලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරි පියවර ගනියි.
- හදිසි මිලදී ගැනීමක් ලෙස ගල් අඟුරු නැව් පහක් ඉදිරියේ දී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. මේ නැව් නියමිත දිනවලට ලංකාවට ලැබෙයි ද, ඒවායේ ප්‍රමිතිය ගැන සහතිකයක් දෙන්න පුළුවන් ද ?. ඒ වගේම ගල් අඟුරු සහ ඩීසල් ආනයනය සම්බන්ධයෙන් විපක්ෂය බරපතළ චෝදනා කරනවා. මේ සම්බන්ධ රජයේ ස්ථාවරය කුමක් ද ?
හදිසි මිල දී ගැනීම සම්බන්ධ ගල් අඟුරු නියමිත පරිදි නැව් ගත කරයි කියලා අපේක්ෂා කරනවා. එය සාමාන්‍යයෙන් සිදුවන තත්ත්වයක්. ඒක ප්‍රමාද වීමට හේතුවක් නැහැ. ප්‍රමිතිය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ නියමිත ක්‍රමවේදයෙන් තොර ගල් අඟුරු අපි භාර ගන්නේ නැහැ. ඒක තමයි අපි පසුගිය කාලේ කළෙත්, ඉදිරියේ දී කරන්නෙත්. ඒ වගේම ගල් අඟුරු ආනයනය හෝ ඩීසල් ආනයනය සම්බන්ධ අතීත සිදුවීම් වාර්තා කරන්න තැනක් තිබෙනවා. ඒ වෙනුවෙන් පිහිටුවා තිබෙන විශේෂ ජනාධිපති කොමිෂමට අදාළ පැමිණිලි හෝ තොරතුරු ලබාදීම කරන්න පුළුවන්. අප්‍රේල් අග හෝ මැයි මාසයේ මුල මේ කොමිෂම වැඩ ආරම්භ කරයි. ඔබට පුළුවන් අවශ්‍ය තොරතුරු ලබාදීමට. කොමිෂම ඒ තොරතුරු භාර ගනියි. අපටත් අවශ්‍ය ගල් අඟුරු සහ ඩීසල් ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත්ව ක්‍රියාත්මක කිරීමටයි.
- බලශක්ති අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඉල්ලා අස් වුණ නමුත් ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ඉවත් කළේ හෝ ඉවත් වුණේ නැහැ නේද ?. ඒකට හේතුව කුමක් ද ? හය ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොත සම්බන්ධ සිද්ධියේ දී එවැනි දෙයක් වුණා. මෙහි දී විශේෂයක් වුණේ කොහොමද ?
හය ශ්‍රේණිය ඉංග්‍රීසි පෙළ පොත සම්බන්ධ සිද්ධියේ දී අමාත්‍යවරිය හෝ අමාත්‍යාංශ ලේකම්වරයා ඉල්ලා අස් වුණේ නැහැ. වත්මන් සභාපතිවරයා අලුතින් පත් වුණ කෙනෙක්. ඊට පෙර හිටපු සභාපතිවරයා පුද්ගලික හේතුවක් මත ඉල්ලා අස් වුණා. විමර්ශන සිදුවන ආකාරය අනුව ඉල්ලා අස්වීම් හෝ තව දුරටත් ධුරයේ රැදී සිටීම සිදුවේවි. ඒ වගේම දැන් මේක සියලු දෙනාටම විවෘතයි, තමන්ට තිබෙන සැක සංකා ඉදිරිපත් කරන්න පුළුවන්. ඕනෑම අයෙකුට එරෙහිව තිබෙන චෝදනා ප්‍රබල නම් එක්කෝ ඔහු තීන්දුවක් ගත යුතුයි, නැතිනම් රජය තීන්දුවක් ගන්නවා. දැනට වත්මන් සභාපතිවරයා ඉවත් කිරීමට හේතුවක් රජයට නැහැ.
- හඬ පටයේ තොරතුරුවත් ඔහු ඉවත් කිරීමට ප්‍රමාණවත් නැද්ද ?
ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශයක් කළා. ඒක පසුගිය කාලයේ කරන ලද ප්‍රසම්පාදනයට අදාළයි කියලා ඔප්පු කළොත් ඔහු ගැන තීන්දුවක් ගන්න පුළුවන්. එසේ නොවී ඔහු ඉවත් කිරීමට ඒ හඬ පටය පමණක් කිසිසේත් ප්‍රමාණවත් නැහැ.
- මීට පෙර කන්ටේනර් 323 සම්බන්ධ සිද්ධියටත් ජනාධිපති කොමිෂමක් පත් කළා. නමුත් වාර්තාව එළියට ආවේ නැහැ. ඔබතුමාලා පහසුවට කියනවා ජනාධිපති කොමිෂමක් පත් කළා කියලා. නමුත් ඒ කොමිෂන්වලින් වාර්තා එළියට එන්නේ නැහැ නේද ?
කන්ටේනර් 323 සම්බන්ධ සිද්ධියට ජනාධිපති කොමිෂමක් පත් කළේ නැහැ. ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස යම් කමිටුවක් පත් කළා පමණයි. ඊට අමතරව පාර්ලිමේන්තුවේ කාරක සභාවක් තිබෙනවා. නමුත් 1978 පනත ප්‍රකාරව මේ ජනාධිපති කොමිෂන් සභාව විශේෂ වර්ගයේ එකක්. මේ ආකාරයේ කොමිෂන් සභාවක් මෑත කාලයේ පත් කරලා නැහැ. සක්‍රීය සේවයේ නිරත වන විනිසුරුවරුන්ගෙන් පමණයි 1978 පනත ප්‍රකාරව මේ කොමිෂම පත්කරන්න පුළුවන්. මේක සාමාන්‍ය කොමිටි, කොමිෂන් වගේ නෙමෙයි. මේක බලතල සහිත කොමිෂමක්. මේකෙන් බොහෝ දේවල් කරන්න පුළුවන්, බොහෝ තීන්දු තීරණ ගන්නට පුළුවන්. සමහර විට ඒ නිසා වෙන්න ඇති කලින් ගල් අඟුරු ගැන කතා කළ බොහෝ විපක්ෂ මන්ත්‍රීවරු දැන් ‘පරණ දේවල් හොයන එක වැඩක් නැහැ, පරණ දේවල් මේකට මොකට ද ? ’ කියලා කියන්න පටන් අරන් තියෙන්නේ. අපිට අවශ්‍යයි 2009න් මෙපිටට ආනයනය කළ ගල් අඟුරු නැව් සියල්ලේම සිදුකරන ලද අක්‍රමිකතා, දූෂණයන් පිළිබඳව හෙළිදරව් කරගෙන ඒවට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක කරන්න. ඒක රට පැත්තෙන්, ජනතාව පැත්තෙන් කළ යුතු දෙයක්. ඒකට හේතුව තමයි මේක ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය තුළ දෝෂය සිදු වුණේ කොතැනද කියලා සොයා ගැනීම ඉතාම වැදගත්. අපි නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ තත්ත්ව පරීක්ෂණය නිසි පරිදි කරන්න ගියාට පස්සේ මොකද සිදු වුණේ කියන එක සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කරගත යුතුයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තා කිහිපයක් තිබෙනවා, කෝප් කමිටු වාර්තා කිහිපයක් තිබෙනවා. ඒ ඒ කාලවල හිටපු අදාළ අමාත්‍යවරු, තමන්ට කලින් හිටපු අමාත්‍යවරුන්ගේ කාලේ සිදු කළ බව කියන වැරදි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තා තිබෙනවා, ත්‍රි පුද්ගල කමිටු පත්කරලා තිබෙනවා. මේ ආදි කරුණු කාරණා රාශියක් තිබෙනවා, තොරතුරු ගොඩක් තිබෙනවා. ඒ තොරතුරු අධ්‍යයනය කරලා ඕනෑම කෙනෙකුට කොමිෂමට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව කොමිෂම තොරතුරු විමර්ශනය කරාවි, අදාළ අය කැඳවාවි. ඔබ මේ රජයේ අය ගැන තොරතුරු ඉදිරිපත් කළොත් ඒ අයවත් කැඳවන්න ඉඩකඩ තිබෙනවා.
- ලංකාවේ ජනමාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් බරපතළ ගැටලු මේ වන විට වාර්තා වෙනවා. ඔබ විශ්වාස කරන ආකාරයට ලංකාවේ සමබර මාධ්‍ය සංස්කෘතියක් බිහිවෙලා තිබෙනවා ද, එසේ නොමැති නම් බිහි වෙමින් තිබෙනවා ද ?
තවම නැහැ. එවැනි තත්ත්වයක් වර්ධනය කරගත යුතුයි.
එවැනි සංස්කෘතියක් ගොඩනැගීමට අවශ්‍ය ආයතනවලට පහසුකම් සැලසීමේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශය පසුගාමී වෙන්නේ ඇයි ?. විශේෂයෙන් තොරතුරු කොමිෂමට ප්‍රමාණවත් පහසුකම් නැති බව වාර්තා වෙනවා නේද ?
තොරුතුරු කොමිෂමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නැති බව ඇත්ත. ඇතැම් නිලධාරීන් ඉවත් වෙලා වෙනත් රැකියාවලට ගිහින් තිබෙනවා. අපි එකී තනතුරු වල වැටුප් ඉහළ නැංවිම සඳහා කටයුතු කරමින් සිටිනවා. රාජ්‍ය අංශයේම රියැදුරන් සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා. ඇතැම් රාජ්‍ය ආයතනවලට යාමට කැමැති වුණත් ඇතැම් රාජ්‍ය ආයතනවල රැකියාවට යාමට රියැදුරන් කැමති නැහැ. තොරතුරු කොමිෂම සම්බන්ධ ඇතැම් තනතුරුවලට අයදුම්පත් කැඳවීමට පියවර ගත්තත් ඇතැම් තනතුරුවලට ප්‍රමාණවත් තරම් අයදුම්කරුවන් සහභාගී වී නැහැ. රාජ්‍ය සේවය තුළ ‘ප්‍රිය මනාප රැකියා’ කියලා අදහසක් තිබෙනවා. ඒවාට වැඩි පුර අයදුම්පත් ලැබෙනවා. හොඳම උදාහරණය සෞඛ්‍ය සහකයින්. සෞඛ්‍ය සහයකයින් 1900ක් ගන්න ගිය විට 94,000ක් අයදුම්පත් ලැබුණා. රජ්‍ය සේවයේ සමහර තනතුරු වලට අලුතින් එන්නෙම නැහැ. ඒ නිසා ඇතැම් තනතුරු වල වැටුප් පරිමාණය ඉහළ නැංවීම සඳහා කැබිනට් පත්‍රිකා ගණනාවක් සකස් කර තිබෙනවා. ඒ වගේම අර්ධ රාජ්‍ය ආයතන වල සමහර තනතුරුවලට ඒකාබද්ධ සේවයෙන් බඳවා ගන්න පුළුවන් ද කියලා අපි මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.
- ඔස්ට්‍රේලියානු රජයට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී තිබෙනවා. මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය වැනි රටේ ආර්ථිකයට ඉතාම වැදගත් ආයතනයකින් හැකර්වරයෙකුට මේ ආකාරයේ වංචාවක් කරන්න පුළුවන් ද ? මේක වුණේ කොහොම ද, මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක් ද ?
ඔබ ඔය ප්‍රශ්න කරන්නේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කතානායක තුමාට ඉදිරිපත් කළ ලිපිය පදනම් කර ගෙන විය යුතුයි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරයි. මේ සම්බන්ධ වැඩි තොරතුරක් මේ වන විට අපට වාර්තා වී නැහැ. මේ ලිපිය පමණයි මේකට පදනම් වෙලා තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් මුදල් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කිරීමක් කරයි.
- මෛත්‍රී ගුණරත්න මහත්මයා කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා මේ සම්බන්ධ විශේෂ ජනාධිපති කොමිෂමක් හරහා විමර්ශනයක් කරන්න කියලා. මේ ඉල්ලීමට රජයේ ප්‍රතිචාරය කුමක් ද ?
ඒ ලිපිය පිළිබඳ කරුණු සොයා බැලීමෙන් පසුව තමයි කතානායකවරයාට අදාළ තීන්දුව ගන්න වෙන්නේ. ඔබේ ප්‍රශ්නයට උත්තර ලබාදිය යුත්තේ කතානායකවරයාම තමයි. පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා ද – නැද්ද ? කියන එක කතානායකතුමා තීරණය කළ යුතුයි. මගේ අතේ තාම තිබෙන්නේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ ලිපිය පමණයි. මේ සම්බන්ධ වැඩි විස්තර මා සතුව නැහැ.
- ඔබ පසුගිය සති අන්තයේ පුවත්පතකට පවසා තිබුණා අත්‍යාවශ්‍ය ඖෂධවල යම් හිඟයක් තිබෙනවා කියලා. මේ සම්බන්ධයෙන් යම්කිසි පියවරක් ගෙන තිබෙනවා ද ?
පසුගිය පෙබරවාරී 27 වැනිදා මැදපෙරදිග යුද්ධය ආරම්භ වුණාට පසුව ඖෂධ ආනයනය සම්බන්ධ ගැටලු ගැන අපි ඖෂධ ආනයනකරුවන් සමඟ සාකච්ඡා කළා. ඉරානයෙන් සමහර ඖෂධ ආනයනය කරමින් තිබුණා. ඒ වගේම නැව් වල ප්‍රමාදය හේතුවෙන් ඖෂධ ආනයනයේ දී යම්කිසි ප්‍රමාදයක් සිදුවිය හැකි ද කියලා අපි ඔවුන්ගෙන් විමසා සිටියා. මේ තත්ත්වය හමුවේ, විශේෂයෙන් ඖෂධ සැපයුමේ ගැටලුවක් ඇතිවීමේ හැකියාවක් නැහැ. ඖෂධ ආනයනකරුවන් සතුව ප්‍රමාණවත් තොග තිබුණා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය සතුවත් තොග තිබුණා. ඒ වගේම සමහර ඖෂධ වල හිඟයක් විටින් විට මතුවිය හැකියි. එවැනි ගැටලු වළක්වා ගැනීමට ගත හැකි විසඳුම් ගැන අපි සොයා බලමින් සිටිනවා. ඒ වගේම සැලකිය යුතු මට්ටමකට ඖෂධ සැපයුම ස්ථාවර වෙමින් තිබෙනවා. ඖෂධ ආනයනකරුවන්ට මුදල් ගෙවීමේ ප්‍රමාදය අවසන් කර තිබෙනවා, ඒ වගේම ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනම් කර තිබෙනවා. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ටෙන්ඩර් ක්‍රියාවලිය විධිමත් කර තිබෙනවා.
සටහන – භාතිය බරුකන්ද
2026 අප්‍රේල් 22 වැනි දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදනය කරන ලද ලිපියකි.
රතුඉර පුවත්පතේ 2026 අප්‍රේල් 06 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.















